සහෝදරයන් හතර දෙනාගේ කදුළු කතාව !


බල්ලන්, බළලුන් පවා මහ මඟ දමා යද්දී 'අනේ අපොයි' කියා කම්පාවන මිනිසුන් අපි නිබඳ දැක ඇත්තෙමු. සත්ත්වයන්ට කරුණා කිරීමේ අගය වටහා දුන් බුදුන් වහන්සේ අදහන රටේ, දරුවන් තරමටම ආදරෙන් සතුන් දෙස දයා බැලුම් හෙළන ලෝකයේ තමන්ගේ ලෙයට දාව උපන් පුතුන් සතර දෙනකු තනිකර, යන එන අතක් නොකියා දමා යන මවුපියවරුන් සිටින බව සිතීම පවා ඇදහිය හැකි ඇත්තක්ද?


ගෙලිඔය, පල්ලෙඅලුදෙණිය ෆ්ලවර් ටෙරස්හි පදිංචි කුඩා මයන්තට තම සහෝදරයන් තිදෙනා සහ ආච්චි අම්මා සමඟ අලුත් අවුරුද්දේ මුල් සතියේම පේරාදෙණිය පොලිසියට යෑමට සිදුවේ යැයි ඔහු කෙදිනකවත් නොසිතන්නට ඇත. ජනවාරි හයවැනිදා එළිවන්නට උදෑසනම වැඩිහිටි කාන්තාවක් සමග ළමා ළපටීන් සතරදෙනකු පේරාදෙණිය පොලිසියට පැමිණීම පොලිස් නිලධාරීන්ගේද අවධානය දිනාගත් සිදුවීමක් විය. ඉහත කී මයන්තත්, ඔහුගේ දයාබර සොහොයුරෝ තිදෙනාත් එතැන වූහ.මයන්ත සමඟ ආ ඔහුගේ ආච්චි අම්මා නිලධාරි මහත්වරුන්ට මෙසේ කීවාය.

"මම මේ දරුවන්ගෙ ආච්චි. මේ ගොල්ලන්ගෙ අම්මයි, තාත්තයි සැරින් සැරේ ළමයින්ව තනිකරලා ආගිය අතක් නැතිව යනවා. දරුවන්ට සලකන්නෙත් නෑ. මේ වතාවෙ දෙන්නම අතුරුදන් වුණේ දරුවන්ව එයාලට බලාගන්න බෑ කියලා මගේ ළඟට ත්‍රීවිලරයක නග්ගලා එවලයි.

මයන්තගේ මිත්තණියගේ කතාව එසේ විය. මයන්ත යනු එකොළොස් හැවිරිදි ධෛර්යවන්ත දරුවෙකි. මතක ඇති කාලයේ පටන් අම්මා, තාත්තා තමන්වත් මල්ලිලා තුන් දෙනාවත් තනිවම දමා දින ගණන් ආගිය තොරතුරක් නොදන්වා කටයුතු කිරීම කුඩා මයන්තට කිසිම දිනෙක අරුමයක් නොවීය. ළමා වියේ සමනල සිතුම් පැතුම් සමග කෙළිදෙළෙන් ගතකළ සුන්දර දිවියක්වත්, උදෑසන අවදිව ශිල්ප ඉගෙන ගන්නට පාසැලට ගිය දිනයක්වත් මයන්තට මතක නැත.

මයන්තට මෙන්ම හත් හැවිරිදි ගිහාන් රශ්මිත කරුණාරත්න, හතර හැවිරිදි මිහිඳු රශ්මින්ද කරුණාරත්නට හෝ ගෝෂිල රශ්මිත කරුණාරත්නට හෝ මේ ඇල්මැරුණු උදාසීන ජීවිතය අහඹුවක් නොවීය. බාල සොහොයුරන් තිදෙනාට පියකු වෙමින් ඔවුන් වෙනුවෙන් කැපවුණේ වැඩිහිටියකු නොවූ වැඩිමහල් සොහොයුරා වූ මයන්ත දිනුරත්න කරුණාරත්නය.

අහිමි වූ අධ්‍යාපනය හමුවේ සොහොයුරන් සිවු දෙනාගේ මිතුරා වූයේ බඩගින්නය. දරුවන්ගේ කුස පුරවන්නට මිනිසකුට කළ නොහැකි දේ පවා කරන ලෝකයේ මයන්තගේ අම්මාට තාත්තාට දරුවන්ගේ කුසගින්න දැනුණේ නැත. වරින්වර අතුරුදන්ව දරුවන්ගේ සුසුම් නෑසෙන ලෙස කඳුළු නොපෙනෙන ලෙස ජීවත් වූ මේ අම්මා තාත්තා ගැන දරුවන්ගේ සිතේ තිබුණේ කුමන හැඟීමක්ද යන්න සත්තකින්ම අනුමාන කළ නොහැක.

මහින්දපාල මෙන්ඩිස් සහ එම්.එම්.ඩී. කුමාරිහාමි මේ අහිංසක කොලු පැටවුන්ගේ අසංවේදී මවුපියෝ වෙති. තමන්ගේ දරුවන් රැකගත නොහැකි බව කියා තමන් උස්මහත් කළ මහලු මවගේ නිවෙසට මේ දරුවන් යැවීමට තරම් මොවුහු වගකීම් විරහිත වූහ. පිරිමි දරුවන් සිවුදෙනකු සමඟ මිත්තණියක පැමිණිලි කළ පැමිණිල්ල පේරාදෙණිය පොලිසියට නිතර නෑසෙන දුර්ලභ කතන්දරයක් විය. සිද්ධිය මුල්කොට

පරීක්ෂණ ඇරඹූ පොලිසියට මෙය අලුත් කතාවක් වුවද මහින්දපාලට හා කුමාරිහාමිට මෙය හුරුපුරුදු කතාවකි. සිවු මුනුබුරන් ඇතුළු මිත්තණියට එය කඳුළු කතාවකි. වයස අවුරුදු එකොළහේදී බාල සොහොයුරන් තිදෙනාට පියකු මෙන් සැලකීමට සිදුවීම මයන්තගේ ජීවිතයේ උරුමයක් දැයි කරුමයක් දැයි කිසිවකුට අනුමාන කිරීමට අපහසුය. බාල සොහොයුරන්ට මයන්ත පියකු වූ සැටි පොලිස් නිලධාරීන් ඉදිරියේ වචන කළේ මෙසේය.

"අම්මයි, තාත්තයි මේ වගේ වෙනත් දවස්වලත් ගෙදර නැතිව ඉන්නවා. බඩගිනි දැනුණාම මම ළඟ තියෙන ගෙවල්වලින් කෑම ඉල්ලගෙන එනවා. සමහර වෙලාවට මගේ කෑම පංගුවත් මල්ලිලාට දීලා බඩගින්නෙ ඉන්නවා.

මවට-පියාට දරුවන්ගේ බඩගින්න නොදැනෙන විට කෙදිනකවත් පාසලක පස් නොපාගා ඇති ළමා මයන්තට සහෝදර සෙනෙහස දැනෙන්නේ එසේය. තවදුරටත් තම සොහොයුරන් වෙනුවෙන් බඩගින්නේ සිටීමට සිදුවුවහොත් මයන්ත එසේද කරනු ඇති බව සහතිකය.

ජනවාරි හයවැනිදා දිනය ගෙවීමටත් පෙර කොලු පැටවුන් හතරදෙනා මහනුවර අතිරේක මහෙස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව උඩපේරාදෙණිය ටිකිරි ළමා නිවාසයට බාරදීමට තීරණය විය. දෑස් අඳ, දෙපා ආබාධිත මවුපියන් දරුවන් රකින්න වෙහෙස වෙද්දී දෑත්, දෙපා, දෑස් හිමි නමුත් මනුස්සකම් අහිමි මවුපිය යුවළකගේ දරුවන් ළමා නිවාසයකට බාර වූයේ එසේය.


පරීක්ෂණවලට අදාළව කළ සොයා බැලීම්වලදී දරුවන්ගේ මවුපියන් දුරකතන ඇමතුම් මඟින් සම්බන්ධ කරගැනීමට පේරාදෙණිය පොලිසියට හැකිවිය. තම දරුවන් පිළිබඳ මෙසේ තීන්දු තීරණ ගැනීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බවට ඔවුන් පැමිණ පවසා තිබිණි. අසංවේදී මා පිය යුවළ පවසා ඇත්තේ තමන් පෞද්ගලික කටයුත්තක් සඳහා රත්නපුරට ගිය බවයි. තවමත් දරුවන් තමන්ගේ මව වෙත අනාථයන් මෙන් ත්‍රීවීලරයක නග්ගවා යවා, අතුරුදන් වූයේ කොතැනද? ඇයිද? යන්න හරිහැටි අනාවරණය වී නැත. අනාවරණය වුවත් එය පලකට නැත්තේ ඔවුන් දරුවන්ට නොසලකන බව පොලිසියත් මුළු රටමත් දැනගෙන හමාර නිසාය.

සමාජය විපරීත වෙමින් පවතිද්දී මවුපිය සෙනෙහසද ඇදහිය නොහැකි විපරීත භාවයකට ඇද වැටෙන විට එහි ‍ෙදාස් කාට පැවරිය හැකිදැයි සැබෑ මවුපියවරුන්ට තේරුම්ගත හැක. පළමුව සැබෑ මිනිසකු වන්නේ නම් දෙවැනිව සැබෑ මවක, පියකු වීම එතරම් අසීරු නොවේ. එහි ගරුත්වය සැබෑ ලෙසම ලද හැක්කේද එවිටය.

ශිවන්ති ප්‍රනාන්දු
පේරාදෙණිය-දිහාන් බණ්ඩාර
උපුටා ගැනීම  -මව්බිම 

Gossip Lanka Hot News Previous News Archive