අපේ දරුදැරියෝ කාම ගිනි මැ‍ලේට බිලිවෙද්දී " අසල්වැසි දියණියට කඳුළු සලන කලාව "

 ඉන්දියාවේ දියණියක කාමාපරාධකරුවන්ට බිළි වී ජීවිතයෙන් සමුගෙන වැඩි දවසක් ගත වී නොමැත. එම අපරාධය කෙරෙහි ලෝක අවධානය යොමු වූයේ ඉන්දියාව සෙලවී දෙදරන තරමට ‍පොදු ජනතාව අපරාධකරුවන්ට එරෙහිව පාරට බැස්ස හෙයිනි. එක්සත් ජාතීන්ගේ මහ‍ලේකම් බෑන් කි මූන් උන්නැහේද එකී අපරාධය ගැන කතා කර තිබෙන අයුරු මාධ්‍ය මගින් අපට දැන ගැනීමට ලැබිණ.

කාමාපරාධයට ගොදුරුව මියගිය වෛද්‍ය සිසුවියගේ පෞද්ගලික තොරතුරු ලෝකෙට හෙළි නොකළ ඉන්දීය මාධ්‍ය ඇය ගැන වාර්තා කර තිබුණේ ඉන්දීය දියණිය යනුවෙනි. එමගින් පැහැදිලි වෙන්නේ ඇය ගැන කෙතරම් පුළුල් ආකාරයට කල්පනා කර තිබෙනවාද යන්නයි.


ඉන්දියාවේ මාධ්‍ය හැසිරීම එසේ වුවත් මේ රටේ සමහර පුවත්පත් සමහර නාලිකා මෙසේ කාම අපරාධවලට ගොදුරු වන ගැහැනුන් යළි යළි දූෂ්‍ය කරයි. එවැනි ගැහැනුන්ගේ සියලු වතගොත ලෝකෙට හෙළි කරයි. එහෙත් අපරාධකරුවන්ගේ වතගොත වසං කරයි. එහෙත් ඉන්දියාවේ වූයේ එහි අනෙක් පැත්තයි. ඉන්දීය මාධ්‍ය අපරාධකරුවන්ගේ වත ගොත එළියට දැම්මේය. මෙම ඉන්දීය මාධ්‍ය චර්යාවෙන් මෙරට මාධ්‍ය උගත යුතු පාඩම වන්නේ අපරාධවලට ගොදුරු වන ගැහැනු මිනිසුන්ගේ කඳුළු විකුණාගෙන කෑමේ කලාව වෙනුවට ඒ කඳුළුවලට අර්ථයක් එක් කළ හැකි සංවාදයක් ආරම්භ කිරීමට යොමුවිය යුතු බවය.

ලෝකේ මෙහෙම ඉන්දීය දියණියටවූ අපරාධය ගැන අවධානය යොමු කරද්දී ලංකාවේ වනිතාවන් දේශපාලනඥයන් ඇතුළු කට්ටියක් එකී දියණියට වූ අපරාධයට එරෙහිව පෙත්සමක් අත්සන් එකතු කළේ ඉකුත්දාකය. එපමණක් නොව පැය තුනක උපවාසයක්ද පැවැති අයුරු ‘ලක්බිම’ ජනවාරි පළමු වැනිදා පුවත්පත 5 වැනි පිටුවේ වාර්තා කර තිබේ.

අනේ සාධු
කෙතරම් නම් සද්භාවයක්ද?
අන්තර් ජාතික හැඟීමක්ද?

5 වැනි පිටුවේ එසේ එකී පුවත වාර්තා වෙද්දී එකී පුවත්පතේම 12 වැනි පිටුවේ වාර්තා කර තිබුණේ ‘අතවරයක් නිසා 6 හැවිරිදි දැරියට අසාධ්‍යයි’ යන හිසින් වූ පුවතකි. පුවත වාර්තා කළ හැටියට බලපිටිය මූලික රෝහ‍ලේ 3 වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ ඇය පසුව වැඩිදුර ප්‍රතිකාර ගැනීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ.

අප නගන පළමු පැනය වන්නේ ඉන්දියාවේ දියණිය, එසේත් නැත්නම් පෙරකී ලාංකේය කතුන් කියන හැටියට අසල්වැසියාගේ දියණියට වූ අපරාධයට එරෙහිව හද කම්පාවෙන් පාටර බැස්ස පෙරකී කාන්තාවන් දේශපාලනඥයන් මෙරට 6 හැවිරිදි කිරිකැටි දියණියට වූ කාම අපරාධයට එරෙහිව ගනු ලබන ක්‍රියා මාර්ගය කුමක්ද? ඔවුන් ඒ අපරාධය පිළිබඳ දැනුම්වත්ද? දැනුම්වත් නොවෙන්නට බැරිය. එහෙත් ඊට එරෙහිව ඔවුන් පාරට බැස්සෝද? එම දියණියගේ නිවසට ගොස් ඇයට වූ අපරාධය, එහි වතගොත පසුබිම ගැන කතා කළොද? ප්‍රතිකාර ලබන දියණිය බැලීමට ගාල්ලට ගියෝද? අප දන්නා තරමට එහෙම දෙයක් වී නොමැත. එසේ වූයේ නම් කොළඹ වනිතාවන්ගේ ගාලු ගමන ගැන අපේ හැටහුට හමාරක් පමණ වූ ප්‍රාදේශීය වාර්තාකාර මහතුන් විසින් අපට වාර්තා කරනු නිසැකය.

කෙසේ හෝ වේවා 6 හැවිරිදි ගාලු දියණියගේ පුවත පසෙකින් තියේවා මෙයට සතියට දෙකකට පෙර එක් කාම අපරාධකරුවෙක් කිරිකැටි දරුවන් දෙදෙනාද ගුරුවරියක වූ තමන්ගේ අහිංසක බිරිඳද ඉතා උපායශීලී ලෙස ඝාතනය කළේය.

මේ මහා අපරාධයට එරෙහිව ඊට සම්බන්ධ අපරාධකාරයා එල්ලුම් ගහට යැවීමට බල කරමින් පාරට බැස්සේ මොන වනිතා පෙරමුණද? කුමන දේශපාලනඥයාද? උපවාස කළේ කවුරුද? සත්‍යග්‍රහ කළේ කවුරුද?
අත්සන් එකතු කළේ කවරෙක්ද? බැනර් විරෝධතා පුවරු සවි කළේ කවරෙක්ද? ඉන්දියාවේ නොව ලෝකයේ මොන දිල්ලියේ වුවද කාන්තාවකට, අහිංසක දරුවකුට, දැරියකට මිනිසකුට සිදුවන අපරාධවලට එරෙහිව නැගී සිටියාට කම් නැත. එසේ නැගී සිටීම කළ යුත්තකි. අපි මනුෂ්‍යත්වයේ දෑත්වලින් වෙලී බැඳී කටයුතු කළ යුත්තෙමු.

එහෙත් ලෝකේ ගැහැනු මිනිසුන්ට දරු දැරියන්ට වන අපරාධවලට එරෙහිව පාරට බහින මේ රටේ කාන්තාවෝ දේශපාලනඥයෝ මෙහි කතුන්ට, දරු දැරියන්ට වන අපරාධ සම්බන්ධයෙන් උපවාස නොකරන්නේ ඇයි? සත්‍යග්‍රහ නොකරන්නේ ඇයි? අඛණ්ඩ සටනකට නොබසින්නේ ඇයි? කහවත්තේ කොටකෙතන අමු සොහොන් පිටියක් වූ අයුරු අපට අමතක නැත. වයස්ගත අම්මලා එක පෙළට ඝාතනය වූහ. එහෙත් ඉන්දියාවේ දියණිය ගැන කඳුළු සලන පෙරමුණු සහ දේශපාලනඥයෝ ඒ අපරාධවලට විරුද්ධ බව ප්‍රබල හඬක් මතු නොකළහ. විරෝධතා ව්‍යාපාරයක් නො ගොඩ නැගූහ. මාධ්‍ය මගින් දිගින් දිගටම ඒ ගැන කතා කරද්දී සමහරු ඇල් මැරිච්ච අයුරින් කතා කරන්නට පටන් ගත්හ.

මෙහෙම වෙන්නේ ඇයි? කොටකෙතනදී වයස්ගත අම්මලා මරා දමා පණපිටින් පුච්චා දැමූ අවස්ථාද තිබුණි කෙතරම් නම් ම්‍ලේච්ඡකමක්ද? මේ ම්‍ලේච්ඡත්වය ගැන ප්‍රබල සමාජ හඬක් ගොඩනැගුවේ නැත්තේ ඇයි? එසේ වීමට බලපෑ නිශ්චිත හේතු ලියුම්කරු නොදනී. එනිසා ලියුම්කරු මෙවැනි උපකල්පන කීපයකට එළැඹෙයි.
පළමු වැන්න මෙකී නොකී කාන්තා පෙරමුණුවලට දේශපාලනඥයන්ට ඒවා ගැන කතා කිරීමට මුදල් නොලැබේ. දෙවැන්න ඔවුන් අවධානය යොමු කරන්නේ අන්තර්ජාතික හෝ විශේෂ පන්තියකට ගැනිය හැකි අපරාධ කෙරෙහිය. තෙවැන්න ඔවුනට පුළුල් අර්ථයෙන් මෙරට කතුන්ට වන අපරාධවලට එරෙහිව නැගී සිටීම දේශපාලන වශයෙන් එතරම් වැදගත් නැත. ඊට හේතුව ඔවුන්ගේ සද්භාවය ප්‍රදර්ශනයට එමගින් පුළුල් ප්‍රචාරයක් නොලැබිම විය හැකිය. සිව්වැන්න ආණ්ඩුවම ඒ අපරාධ ගැන බැලිය යුතුය යන ආකල්පය කතුන් තුළ බලපැවැත්වීම විය හැකිය. එක් පැත්තකින් අපරාධ වර්ධනය වීම ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට හේතුවක් යැයි කල්පනා කර ඔවුන් මුනිවත රකිනවා විය හැකිය.

පස්වැන්න ඔවුන්ගේ කරුණාව සද්භාව ච්ෙතනාව එක්තරා ආකාරයක පැෂන් එකක් විය හැකිය. ඔවුන් තෝරා ගන්නවා ඇත්තේ ඔවුන්ගේ විලාසිතාවට අදාළ දේවල් පමණක් විය හැකිය. අප එසේ උපකල්පනය කරන්නේ කොළඹට ආවේණික භෞතිකමය සහ මතවාදීමය විලාසිතා තිබෙන හෙයිනි. කොළඹ දේශපාලන කටයුතු කරන්නේ ඒ විලාසිතාවලට යෝග්‍ය පරිදිය. හත්වැන්න මෙහි අපරාධ පිළිබඳ පුළුල් සමාජ නැගිටීමක්, අවධානයක් නොතිබිම නිසා එහි දේශපාලන වාසියක් නොවීම තවත් හේතුවක් විය හැකිය. එකක් කිව යුතුය. ගමෙන් පැමිණ කොළඹ දේශපාලනේ කළත් බොහෝ දෙනා කටයුතු කරන්නේ කොළඹ සමාජ දේශපාලන සංස්කෘතික මතවාදීමය විලාසිතා අනුවය. කලබල නොවන්න ලියුම්කරු පෙර සඳහන් කළ හැටියට මේ සියල්ල ඔහුගේ උපකල්පනය. මේවායේ තිබෙන්නේ සම්භාවිතාවකි.

කෙසේ වුවද කොළඹ දේශපාලනය අමුතු කලාවකි. එය යම් යම් දේවල් තෝරා ගන්නේ ඊටම අදාළ ක්‍රමවේදයකට අනුවය. එසේ වුවත් මොන දේශපාලනේ කළත් ඒ කවුරු කවුරුත් ජීවත් වන්නේ මේ රටේ මහ ‍පොළවේය. එහෙයින් ඔවුනට මෙම ජන සමාජයේ ප්‍රශ්න මඟහැරිය නොහැකිය. ඒ ප්‍රශ්න මඟ හරින ඔවුනට ගමනක් නොමැත. ඒ බොහෝ අයට එම ගමනේ ප්‍රතිවිපාක දැනී තිබේ.

අප දන්නා කාලයේ පටන් මේ රටේ තිබෙන්නේ මෙහි බොහෝ දේශපාලනඥයින් සංවිධාන කටයුතු කරන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ යන චිර ප්‍රකට න්‍යාය අනුවය. දඹුලු ගොහින් තල ගොයි මරන්නේත් ඔවුන්ය. මෙකී ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ දේශපාලන සමාජ ක්‍රමයට එරෙහිව මෙරට ජන සමාජයේ සැබෑ ප්‍රශ්න විවිධ මානව කණ්ඩායම් මුහුණ දෙන අර්බුද ආදිය ගැන කතා කරන ඒවාට විසඳුම් දෙන මාවතක් මෙරටට ඕනෑකර තිබේ.

බහුජන හිතවාදී සමාජ දේශපාලන සංවාදයකින් තොරව ඒ මාවත මතුකර ගත නොහැකිය. විලාසිතා ‍පොලිටික්ස් වලින් එය ගොඩනගා ගත නොහැකිය. මේ පවතින දේශපාලන සමාජය නිර්දය පරීක්ෂාවට ලක් කරන සුළුතර සබුද්ධික බහුජන හිතවාදී කණ්ඩායමක් ඒ මඟ ගොඩනගනු ඇත.
ව්‍යාජ වීරයන්ට, කටමැත දොඩ වන්නන්ට ඒ වෙනස කළ නොහැකිය. කෙසේ නමුත් කොළඹ විලාසිතා දේශපාලන සමාජ වැඩ ගැන කල්පනා කර බලන කල ඊසොප්ගේ පහත දැක්වෙන වලස් කරුණාව නමැති පුංචි කතාව ලියුම්කරුට සිහිපත් වීම නොවැළැක්විය හැකිය.

එක් කලෙක වලසෙක් හැම සතුන්ට වැඩියෙන් මිනිසුන්ට ආදරය කරන්නේ තමා යැයි ලොකුවට පුරසාරම් දෙඩීය. ඊට හේතුව වළහා කවදාවත් මළ මිනිසුන් නොකන හෙයිනි. මේ කතාව අසා සිටි හිවලෙක් පණපිටින් ඉන්නා මිනිසුන් කනවාට වඩා මළ මිනිසුන් කෑවා නම් කොච්චර හොඳ දැයි සිනාසෙමින් වලසාට සරදම් කළේය.

උපුටා ගැනීම-ලක්බිම පුවත් 
 

Gossip Lanka Hot News Previous News Archive