ශ්‍රී ලංකාවත්,ජාත්‍යන්තරයත් රිසානා මරා දැමීම හෙලා දකී

 2008 දී මරණ දඬුවම පැනවීමෙන් අනතුරුව ඇගේ ජීවිතය බේරාගැනීම සඳහා අභියාචනයක් ඉදිරිපත් කිරීම, ජනාධිපතිවරයා පෞද්ගලිකවම සෞදි අරාබි බලධාරීන්ගෙන් ඉල්ලීම් කිරීම ඇතුළු බොහෝ පියවර ගත් නමුත් නීතිය ක්‍රියාත්මක කිරීමට සවුදි බලධාරීන් කටයුතු කොට ඇති බවයි, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ.

කෙසේ නමුත් ආණ්ඩුව නිසි පියවර ගත්තේ නම් රිසානාගේ ජීවිතය බේරා ගත හැකිව තිබුණු බවයි,රිසානා වෙනුවෙන් අභියාචනයක් සඳහා වියදම් දැරූ ආසියානු මානව හිමිකම් කොමිසම පවසන්නේ.


ආණ්ඩුව විසින් ජන මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කීරීමෙන් පමණක් සාර්ථක ප්‍රතිපල ලැබිය නොහැකි බව කොමිසමේ අධ්‍යක්ෂවරයෙකු වන බැසිල් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

එම චෝදනාව තමන්ද අනුමත කරන බවයි මැද පෙරදිග රැකියාවල නිරතවන ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ප්‍රකාශ කළේ.

"ශ්‍රී ලංකාවේ අවනීතිය ජාත්‍යන්තරයට ගිහින් තියෙන්නේ;මේ නිසා කිසිම රටක් ලංකාව ගනන් ගන්නේ නැහැ " යනුවෙන් රන්ජන් රාමනායක කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව උපරිම අන්දමින් මැදිහත් වුවත් එරට නීතිය අනුව සෞදි අරාබියේ රජතුමන්ට පවා මරණ දඬුවම වලක්වා ගැනීමට නොහැකි වූ බව අධිකරණ ඇමති රවුෆ් හකීම් ප්‍රකාශ කළේය.
රිසානා ගේ නිවස

මියගිය දරුවාගේ පවුලේ උදවිය රිසානා නෆීක්ට සමාව දීමට එකඟ නොවීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වූ බවයි රවුෆ් හකීම් ඇමතිවරයා පෙන්වා දුන්නේ.ඇම්නස්ටි ජාත්‍යන්තරය හා හියුමන් රයිට්ස් වොච් සංවිධානය සෞදි බලධාරීන් පරීක්ෂණය පැවැත්වූ ආකාරය දෝෂ දර්ශනයට නගා ඇති අතර මෙය,සෞදි අරාබියද අනුමත කොට ඇති ළමුන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක් බව ඔවුහු තර්ක කරති.

අද දිනය නින්දා සහගත දිනයක් ලෙසින් මුළු ලංකාවම සැලකිය යුතු බව ආසියානු මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කළේය.



-සබැදි පුවත්- 
BBC - Sri Lankan maid Rizana Nafeek beheaded in Saudi Arabia

Gossip Lanka Hot News Previous News Archive