මොහාන් පීරිස් පත්වීමට ජාත්‍යන්තර විරෝධය

ශ්‍රී ලංකාවේ හතලිස් හතරවැනි අගවිනිසුරුවරයා ලෙස හිටපු නීතිපති මොහාන් පීරිස් දිව්රුම් දුන්නේය.

නව අගවිනිසුරු පත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ පියවර ගත්තේ මතභේද වලට තුඩු දී ඇති දෝෂාභියෝග ක්‍රියාවලියකින් පසු අගවිනිසුරුවරිය ලෙස කටයුතු කළ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ධුරයෙන් පහ කිරීමෙන් පසුවයි.
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබියදී අලුතින් අගවිනිසුරුවරයෙක් පත් කිරීම නිසා ශ්‍රී ලංකාව කෙරෙහි ලෝකයේ රටවල් රැසක අවධානයට ලක්ව තිබේ.


ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශිකා වික්ටෝරියා නුර්ලන්ඩ් කියා සිටියේ ශිරණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය දෝෂාභියෝගයක් මගින් ඉවත් කිරීම සම්බන්ධයෙන් තම රටේ දැඩි අවධානයක් යොමුව ඇති බවයි.

'ආයෝජකයන් අඩුවිය හැකියි'



ජාත්‍යන්තර ආයෝජන අඩුවිය හැකියි - වික්ටෝරිය නුර්ලන්ඩ්
"අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය ක්‍රියාත්මක කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග නොසලකා. ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍ය බලය අධිකරණය ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර බෙදා ඇති අන්දම සම්බන්ධය පිලිබඳ ගැටළු රැසක් මේ දෝෂාභියෝගය නිසා මතු වන බවයි ඇමෙරිකාවේ අදහස. සෞඛ්‍ය සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා මේ බල තල බෙදා ඇති අන්දම ඉතා වැදගත්. අධිකරණයේ ස්වාධීනත්වය නොසලකා හැරියහොත් ශ්‍රී ලංකාවට විදේශ ආයෝජකයන් පැමිණීම අඩුවිය හැකි බවටද අපි පැහැදිලිව අනතුරු අඟවා තිබෙනවා" යයි ඇය කියා සිටියාය.

දෝෂාභියෝගය ක්‍රියාත්මක කළ අවස්ථාවේ සිට එක්සත් ජනපදය දෝෂාභියෝගය නිසි ක්‍රියා දාමයකට අනුව සිදු නොවන බව වරින් වර ශ්‍රී ලංකාවට දැනුම් දුන් බවද ඇය සඳහන් කළාය.

රජය කටයුතු කරන අන්දමින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව ඒකාධිපති පාලනයක් කරා ගමන් කරමින් තිබෙන බව දැයි විමසු අවස්ථාවේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශිකා වික්ටෝරිය නුලන්ඩ් කියා සිටියේ ශ්‍රිලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් වැදගත් ප්‍රශ්න රාශියක් මතුව ඇති බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව මහන්සි වී කටයුතු කල යුතු බවයි ඇය පවසන්නේ.

'අන්තර්ජාතික වශයෙන් 'හුදෙකලා වීම'


මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන් ද ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇත.

නීතියේ ආධිපත්‍යයට පිටු පා ක්‍රියා කිරීම මගින් ශ්‍රී ලංකාව අන්තර්ජාතික ප්‍රජාව තුල හුදෙකලා විය හැකි බවයි ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු සංදේශයට කියා සිටියේ.

"ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රජයක්ද, නීතිය මත පාලනයක් ලංකාවේ පවතී ද සහ අධිකරණයේ ස්වාධීනත්වයක් තිබේද යන කරුණු සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ විශාල සැකයක්"
ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂ

"ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රජයක්ද, නීතිය මත පාලනයක් ලංකාවේ පවතී ද සහ අධිකරණයේ ස්වාධීනත්වයක් තිබේද යන කරුණු සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ විශාල සැකයක් මතුව ඇතැ"යි ද ඔහු පැවසුවේය.

නීතියේ ආධිපත්‍යයට ගරු නොකිරීම නිසා මතුවිය හැකි ගැටළු අතර ජාත්‍යන්තර යෝජනා අහිමිවීම පෙරමුණ ගනු ඇති බවට ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් නීතියේ ආධිපත්‍යයට ගරුකරන බව අන්තර් ජාතික ප්‍රජාවට ඔප්පුකර පෙන්වීමේ වගකීම දැන් ශ්‍රී ලංකා රජය සතු ප්‍රධාන කටයුත්තක් වී ඇතැයිද බැසිල් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

Gossip Lanka Hot News Previous News Archive