මඩවලගේ අවමගුලට ගිය ජනපතිට කැලණියෙන් ඉල්ලීමක්

නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු විසින් මරා දැමූ කැලණියේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර හසිත මඩවල මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (07) පස්වරුවේ දී ඒ මහතාගේ නිවසට ගියේය.

එහිදී මඩවල මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටි සිය ගණනක් ප‍්‍රදේශවාසීන් මිනීමරුවන් කැලණි දේශපාලනයෙන් ඉවත් කරන ලෙසත්, එසේ නොකළහොත් තවත් ඝාතන සිදුවීම වැළැක්විය නොහැකි යැයිද ජනපතිවරයාට කියා සිටි බවද පැවසේ.


ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්‍ෂණ කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා එහිදී අදාල අංශවලට උපදෙස් ලබා දුන් බවද වාර්තා වේ.

ජනපතිවරයා සමග නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාද එක්ව සිටි බව පැවසේ.

මේ අතර, මඩවල මහතාගේ ඝාතකයින් අත්අඩංගුවට ගැනීම සඳහා කෙරෙන පරික්ෂණ අපක්ෂපාතීව සිදුකරන ලෙස ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

මේ පරීක්ෂණය දෙස ජනතාව මහත් උනන්දුවවෙන් බලා සිටින බවද හෙතෙම සිය ලිපියෙන් දක්වා ඇත.

ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැඩි පිළිකුල හා ශෝකය පළ කරන බවත් ඇමති වරයා එම ලිපියේ තවදුරටත් සඳහන් කර තිබේ.

මඩවල මහතාගේ ජීවිතය අහිමි කිරීම ඔහුගේ පවුලේ අයටත් රටටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් බලවත් පාඩුවක් වී තිබෙන අතර ඔහුගේ පවුලේ අයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශෝකය හා කණගාටුව පළ කරන බවත් සඳහන් කර ඇත.

Gossip Lanka Hot News Previous News Archive