ඌරා මැරුවොත් මමත් මැරෙනවා

කුඩා කාලයේ සිට කිරි පොවලා බත් කවලා, එක ඇඳේ නිදා ගත්ත දරුවකු වන් වයිරා මගෙන් ඇත් කළොත් උගේ ජීවිතය මෙන්ම මගේ ජීවිතයත් අවසන් වේවි යැයි ඌරකු තම නිවෙසේ තබා ගෙන හදා වඩාගෙන සිටින 72 හැවිරිදි අයකු පැවැසුවේ ඉතා දුක්බර කතාවකි.ඔහු කෑගල්ල අලපලාවෙල නිලපලාගම්මන පදිංචි එච්. පී. පියදාස නම් අයෙකි.


මිනිසකු, ඌරකු සමඟ ජීවත් වෙනවා යැයි ලැබුණු ආරංචියක් අනුව  එහි ගොස් බලන විටත් පියදාස මහතා ඌරට කෑම දෙමින් සිටියේය. බැලූ බැල්මට අඩි දෙකක් පමණ උස අඩි තුනහමාරක් පමණ මෙම ඌරා දකින විට  මහත් බියක් ඇති වුණද ඔහු වයිරායි කිවූ සැණින් ඉතා කුඩා දරුවකු මෙන් හීලෑ විය. කෑම දී අවසන් කර මෙම ඌරා ගැන කතාව  මෙසේ පැවැසීය.



“ම‍ගේ වයිරා නැතිව ඉන්න බැහැ. වයිරාටත් මම නැතිව ඉන්න බැහැ. අපි දෙන්නා වෙන් කරන්න නම් හදන්න එපා. එහෙම වුණොත් වයිරා පිස්සු හැදිලා මියයයි. එහෙම උනොත් තත්ත්වය බරපතල වෙනවා. එවිට ඌට‍ වෙඩි තියන්න හෝ මරන්න වෙයි. ඒ වගේම මගේ ආයුෂත් කෙටිවේවි.”



මම දරුවන් පස් දෙනකුගේ පියෙක්. ඒ අය වෙන් වෙන්ව ජීවත් වෙනවා. මම තනිවමයි ජීවත් වෙන්නේ. මේ වයිරා කියන ඌරා කුඩා කාලයේදීම මගේ කමිසය අස්සේ තබාගෙන ගෙනැවිත් කිරි දීලා හදාවඩා ගත්තා. දැන් ඌට වයස අවුරුද්දක් පමණ වෙනවා. උදේට කිරි එකක් හදල දුන්නාම ඒක බොනවා. මාස හතරේ සිට කිරි දුන්නේ. ඊට පස්සේ එළවළු බතුත් සමඟ කෑම හදලා දුන්නා. කිසිම අලවර්ගයක් අමුවෙන් හෝ තම්බලා දුන්නත් කන්නේ නැහැ. මස් වර්ග කනවා. කොහේ සිටියත් වයිරා කියලා කතා කළොත් දුවගෙන එනවා.


සෑම දිනම හවස 6ට පමණ එයා සිටින කාමරයෙන් ‍ෙදාර ඇරපුවම ඇවිදින්න යනවා. ගිහිල්ලා රාත්‍රි 11ට ආපසු එනවා. ඒ වනවිට ‍ෙදාර අඩවල් කරලා තියෙන්නේ. ‍ෙදාර ඇරගෙන ඇවිල්ලා මා නිදා සිටින ඇඳට ගොඩවෙලා මා සමඟ නිදා ගන්නවා. ටික වේලාවක් මගේ කකුල් දෙසට නිදාගෙන ඉඳලා පසුව මා හිස තබන කොට්ටයට ඇවිත් නිදා ගන්නවා. මම නිදා ගන්න විට මදුරු දැලක් දමා ගන්නවා. එයා ඒක ඇතුළට වෙලා නිදා ගන්නවා. හරියටම උදේ 4ට වයිරා මගේ කන ළඟට ඇවිල්ලා 'චික් චික්' ගානවා. ඒ එයාට කිරි ඕන වෙලා. මම කිරි හදා දුන්නාට පස්සේ කිරි ටික බීලා ආපසු ඇඳට ඇවිල්ලා නිදා ගන්නවා.



උදේ 6ට විතර එළියට ගිහිල්ලා පැය භාගයකින් විතර ආපසු එනවා. ඒ එයාට අවශ්‍ය කටයුතු කර ගන්න. ඊට පස්සේ නැවැත එයා සිටින ස්ථානයට යනවා. කිසි දිනක වයිරා ඒ ගේ ඇතුළේ අපවිත්‍ර කරන්නේ නැහැ. ඊට පස්සේ එළියට යන්නේ නැහැ. සමහර දිනක මා සමඟ කඩේ ළඟට යනවා. කිසි කෙනකුට කිසිම කරදරයක් කරන්නේ නැහැ. පාසල් ළමයින් නිතර නිතර යනවා. කිසිම කරදරයක්, බයක් නැහැ.

වයිරාට හා මට මාසෙකට කිරි පැකට් 6ක් පමණ යනවා. හොඳම වර්ගයේ කිරියි දෙන්නේ. සීනි කිලෝ පහක් යනවා. උදේට හාල් හුණ්ඩුවක විතර බත් වයිරට දෙනවා. දවල්ට හුණ්ඩු දෙකක් දෙනවා. රාත්‍රියට එයාට හොඳට කන්න ඕනෑ. හාල් හුණ්ඩු දෙකක් උයලා, මුංඇට, පරිප්පු, කව්පි ආදිය හදලා හොඳට ලුණු මිරිස් දාලා බත් එක්ක අනලා කන්න දෙන්න ඕනෑ. ඇනුවේ නැත්නම් කන්නේ නැහැ. බත් පමණක් කන්නෙත් නැහැ. මට මාසෙකට අපි දෙන්නාගේම වියදම රුපියල් දස දහසක් පමණ වෙනවා. මම ඒ මුදල් මගේ ඉඩම්වලින් හා කිරි කැපීමෙන් හොයා ගන්නවා. කිසිම මුදලක් මට ලැබෙන්නේ නැහැ. මම ඉල්ලන්නෙත් නැහැ.


රාත්‍රියට එළියට ගියාට මඩේ ලගින්නේ නැහැ. ඇඟේ කිනිතුල්ලෙක්වත් නැහැ. මඩේ ලගිනවා නම් රාත්‍රියට එනවිට ඇඟේ මඩ තියෙන්න ඕනනේ. එහෙම නැහැ. රාත්‍රියට යන්නේ ටිකක් ඇවිදලා එන්න. සුමානයකට දින දෙකක් හොඳට සබන් ගාලා නාවනවා.


වයිරාව අතහැර දමන්න, වනජීවී එකට බාර දෙන්න කියා පොලිසියෙන් කීවා. එහෙම මම නැතිව වයිරාට ඉන්න බැහැ. වයිරා නැතිව මට ඉන්නත් බැහැ කියමින් ඔහු හඬන්න පටන් ගත්තේය. එහෙම වුණොත් වයිරාත් මැරෙයි. ටික දවසකින් මාත් මැරෙයි.

අනිත් එක එයා කොහාට හරි අරන් ගියත් අරන් යන්නත් අමාරුයි. උස මහත සතෙක්. පහසුවෙන් ගෙනියන්න බැහැ. අපහසුවෙන් අරන් ගියත් එයාට බත් කන්න ඕන. වෙනත් තැනකට ගෙන ගිහිල්ලා පහසුකම් ඇති ස්ථානයක තියනවා. වෙනම ගෙයක් හදලා මම තියා ගන්නවා යැයිද ඔහු පැවැසීය.


මෙයාගෙන් කිසි කෙනකුට කරදරයක් නැහැ. රාත්‍රියේ කොහේවත් යන්නේ නැහැ. දවාලට නිදා ගන්නවා. පිට අයකුට කිසිම කරදරයක් නැහැ. පාසල් ළමයි පාරෙ ගියාට මොකුත් කරදරයක් නැහැ. මම ළඟ ඉන්නවා කුකුළෙක්. ඌ නම් කොටනවා. ඒ තරම්වත් මේ සතා කරදරයක් නැහැ.

මොහු මෙයට පෙරද ඌරකු හදාගෙන තිබී ඇති අතර එම ඌරාද ඔහු සමඟ දරුවකු මෙන් සිටි බවද ඔහු පැවැසීය.
එම සතාටත් මම නැතිව ඉන්න බැරිව සිටියා. එයත් මා සමඟ එකටමයි සිටියේ. මම අෑත ගමකට ගිහිල්ලා එන්න බැරිවුණා. එදින ගමේ ගෙවල් ගාණේම ගිහිල්ලා මාව හොයලා තිබෙනවා. පසුව ඉවපාර දිගේ ඇවිල්ලා ඒ ගමටම පැමිණියාට පසු ඒ ගමේ මිනිස්සු වට කරලා වළකට දමා තිබුණා. පසුව ඌ මරණයට පත්වී සිටියා.

මම මස් කන්නේ නැහැ. ගෙදරටවත් ගේන්නේ නැහැ. ඒ නිසා මට මේ සත්තු කැමැති ඇති. මම ළඟ එළ හරකෙක් සිටියා. රත්තී කියලා. එයාට පැටව් හම්බවෙලා ඉන්න දවස්වල, මගේ එළදෙනගෙන් කිරි බිව්වා. මම එළදෙන ළඟට ගියාම කකුල උස්සනවා මට කිරි බොන්න. මා ඇති කරන හැම සතාම එහෙමයි. මේ වයිරාත් අතහැර දැම්මොත් එක්කෝ කවුරුහරි වෙඩි තියයි. එහෙම නැතිනම් මන්දකට අහුවෙයි. ඒ නිසා මේ සතාව මට යවන්න බැහැ. මට හරි දුකයි. අනිත් එක මම නැතිව වයිරාට ඉන්න බැහැ. පිස්සු වැටෙයි. එය ඊට වඩා භයානක වෙනවා. ඒ නිසා මෙයාව කොහොමවත් ගෙනියන්නවත් අත අරින්නෙවත් නැහැ. ඒක කරන්නත් බැරි නිසා මම වෙනමම හදා ගන්නවා යැයිද ඔහු දුකින් බරිතව පැවැසීය.




උපුටා ගැනීම  -මව්බිම 



Gossip Lanka Hot News Previous News Archive