රිසානාගේ මව සෞදි ආධාර ප්‍රතික්ෂේප කරයි
“රිසානා වෙනුවෙන් ගරු ජනාධිපතිතුමාගෙන් මම කරන එකම ඉල්ලීම තමයි , සෞදිය වගේ ම්ලේච්ඡ රටකට අපේ රටේ කාන්තාවෝ, දරුවෝ යවන එක නවත්වන්න. ආයේ වතාවක් රිසානා කෙනෙක් බිහි කරන්න ඉඩ තියන්න එපා” යනුවෙන් සෞදියේ දී මරණයට පත්වූ රිසානා නෆීක්ගේ මව වන අහමදු සෙයියදු මහත්මිය රජයෙන් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියාය.
පෙරේදා (17) සවස අධිකරණ ඇමති රවුෆ් හකීම් මහතා රිසානා නෆීක්ගේ පවුලේ උදවියට රුපියල් ලක්ෂ 5 ක් වටිනා චෙක්පතක් පරිත්‍යාග කළ අවස්ථාවේදී රිසානාගේ මව මාධ්‍යයන් වෙත එසේ පවසා ඇත.
සෞදි රජය සහ රිසානා වෙනුවෙන් සෞදි අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ සමාගම විසින් රිසානාට මුදල් පරිත්‍යාගයක් කරන්නට සූදානම් බව ජනමාධ්‍යවේදීන් විසින් රිසානාගේ මවට එම අවස්ථාවේ දී පවසා ඇත.
එහිදී ඇය එම මුදල් තරයේම ප්රතික්ෂේක කරමින් පවසා ඇත්තේ “සෞදිය වගේ මිලේච්ඡ රටකින් එක සත පහක් මේ වත්ත හතර මායිමට ගේන්න එපා. ඊට වඩා මට වටිනවා ලංකාවේ දුප්පත් මනුස්සයෙක් දෙන රුපියල” යනුවෙනි.