මහාචාර්ය කේ. කරුණාතිලක
ලෝක සමාජය තුළ ලිංගිකත්වයට ඇති ඉල්ලුම පිළිබඳ ගූගල් වෙබ් අඩවිය සිදුකරන වාර්ෂික සමීක්‍ෂණයේදී ලිංගිකත්වය පිළිබඳ වැඩිම උනන්දුවක් ඇති සහ අන්තර්ජාලයට පිවිස ලිංගික ක්‍රියාකාරකම් නරඹන වැඩිම පිරිසක් සිටින රට ශ්‍රී ලංකාව බව හෙළිදරව් වී තිබේ. පෙරදිග සංස්‌කෘතික සාරධර්ම රැඳි බෞද්ධ රටකට මෙය කිසිසේත්ම සතුටු විය හැකි කාරණයක් නොවේ. අපේ රට තුළ මෙබ ඳු තත්ත්වයක් නිර්මාණය වූයේ කෙසේද? කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය කේ. කරුණාතිලකයන් කරන විග්‍රහයකි මේ.
අපේ රටේ ජනතාව ලිංගික තොරතුරු පිළිබඳ සොයා බැලීමට දක්‌වන උනන්දුව පිළිබඳ ගූගල් වෙබ් අඩවිය හෙළිදරව් කළ වාර්තාව පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?
Google වෙබ් අඩවිය හෙළිදරව් කළ වාර්තාවෙන් මෙතෙක් කල් අපේ රටේ සමාජය පිළිබඳ සංස්‌කෘතිය හා ජීවන රටාව පිළිබඳ ගොඩනඟාගෙන තිබුණු ඇතැම් මතවාදයන්ට දැඩි තර්ජනයක්, අභියෝගයක් මතුවුණා. අපේ සමාජය ලිංගිකත්වය සැලකුවේ අතිශය පෞද්ගලික කාර්යයක් හැටියටයි. ඇත්ත වශයෙන්ම එය පෞද්ගලික චර්යාවක් විය යුතුයි.
පෙරදිග සංස්‌කෘතික සාරධර්ම සමඟ බැඳුණු රටක ජනතාවක් බටහිර රටවලුත් අභිබවා ලිංගික චර්යා පිළිබඳ මෙතරම් උනන්දුවක් දක්‌වන්නට පෙළඹුණේ කොහොමද?
ලිංගිකත්වය පිළිබඳ දැනුම ලබා ගැනීමට තිබුණු උනන්දුව එදා සහ අද සමාජ තුළ සැඟවුණු දෙයක් නෙමෙයි. අතීතයේ තිබුණු ජීවන රටාවන් දිහා බලන විට අපේ රටේ ගමෙත් නගරයෙත් ප්‍රභූන් අතරත් සාමාන්‍ය ජනතාව අතරත් ලිංගිකත්වය පැවතුණේ සාමාන්‍ය දෙයක් හැටියට. සරල ක්‍රියාදාමයක් විදිහට තිබුණු මේ සංසිද්ධිය අධිරාජ්‍යවාදීන්ගේ කාලය තුළ වික්‌ටෝරියානු සංස්‌කෘතිය හරහා යම් ආකාරයක බලපෑමකට ලක්‌වුණා. විශේෂයෙන් න්‍යෂ්ටික පවුල කේන්ද්‍රකරගත් ඒකීය විවාහ ක්‍රමය, ස්‌වාමි පුරුෂයාට සහ බිරිඳට පමණක් සීමාවුණු ලිංගික ක්‍රියාවලියක් මත සංවිධානය වුණු ජීවන රටාවකුත් ඒ ආශ්‍රිත විවාහය හා සම්බන්ධ චාරිත්‍ර බොහොමයකුත් ලාංකික සමාජයට එක්‌වුණා. ඒ ආකාරයෙන් පැමිණි ශතවර්ෂ එකහමාරක පමණ කාලය තුළ න්‍යෂ්ටික පවුල කේන්ද්‍ර කරගත් සංස්‌කෘතියක් අපේ සමාජයේ පැලපදියම් වීම නිසා පැවැති ලිංගික නිදහස යම් ආකාරයකට සීමාවුණා. පුද්ගලයන්ගේ ලිංගික හැසිරීම් යම් පාලනයකට ලක් වුණා.
නමුත් පසුගිය දශක තුනක පමණ කාලය තුළ ශ්‍රී ලාංකික සමාජය මෙන්ම ලෝකයේ සෑම සමාජයක්‌ම නවීන තාක්‍ෂණය හා බැඳුනු සංසිද්ධීන් ගණනාවක් සමඟ වේගයෙන් දියුණු වෙමින් තිබෙනවා. මේ නිසාම පුද්ගලයන් තම අවශ්‍යතා සපුරාගන්නා ආකාරයත් දැඩි වෙනස්‌වීමකට ලක්‌වෙලා තිබෙනවා. මේ වෙනස් වීමත් සමඟ අපේ රටේ විධිමත් අධ්‍යාපනය තුලින් ගොඩනගන්නට බලාපොරොත්තුවන දැනුම පිළිබඳ අවශ්‍යතාවය අපේ සමාජයේ අනිකුත් අංශ වෙනස්‌වන වේගයෙන් වෙනස් වුණේ නැහැ. ඒ නිසා අපේ රටේ ඉතාමත් බරපතළ ලෙස සීමාවකට පීඩාවකට ලක්‌වූ අංශ 2 ක් තිබෙනවා. ඒ ලිංගිකත්වය සහ ලිංගික අධ්‍යාපනයයි. අපේ රටේ විධිමත් අධ්‍යාපනය තුළ ලිංගිකත්වයට තවමත් තැනක් නෑ. එය වෙනම සාකච්ඡා කිරීමට යම් යම් වැඩ පිළිවෙළවල් යෙදුවත් එය සාර්ථක වී නැහැ. පසුගිය ශත වර්ෂ එකහමාරක පමණ කාලයක් තුළ අප විසින් ගොඩනගාගත් සංස්‌කෘතික කඩතුරාව එයට හේතුවයි. එම නිසා අපේ රටේ ගුරුවරුන් ලෙස හෝ දෙමාපියන් ලෙස හෝ මේ කාරණය ගැන සාකච්ඡා කිරීමට ඇති උනන්දුව හීන වී තිබෙනවා.
ලිංගිකත්වය අත්‍යවශ්‍ය කාරණයක් ලෙස ඔබ සඳහන් කළා. මේ වෙනස්‌වන සමාජය තුළ ලිංගිකත්වය පිළිබඳ දැනුම ලබාගත හැකි ක්‍රමය කුමක්‌ද?
මෙය අද අපේ සමාජය මුහුණ දෙන ප්‍රබල ගැටලුවක්, පුද්ගලයන්ගේ සෑම අංශයකම දැනුම් තත්ත්වයන් වෙනස් වන විට ඕනෑ එපා කම් වෙනස් වෙමින් පවතින විට සමාජ අවශ්‍යතා ඉටුකර ගන්නා ආකාර වෙනස් වෙමින් පවතින විට ලිංගිකත්වය පිළිබඳ දැනුම ලබාගත හැකි පැහැදිලි ක්‍රමයක් නෑ.
රටක පුද්ගලයන් විවාහ වන්නේ කෙබඳු වයස් සීමාවක් තුළද සහ ලිංගිකත්වය පිළිබඳ තිබෙන ජීව විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක තත්ත්වයන් මොනවාද යන ප්‍රශ්න දෙකට අපේ රට තුළින් සොයා ගන්නා පිළිතුරු වලින් මේ තත්ත්වය විග්‍රහ කරන්න පුළුවන්.
මෑත කාලයේ ලාංකික සමාජයේ සිදුවුණු වෙනස්‌වීම් මත පුද්ගලයන් විවාහ වීම අවුරුදු 18 සිට අවුරුදු 27 ක් තරම් කාලයකට පමා වී තිබෙනවා. පුද්ගලයෙක් කායික හා මානසික අවශ්‍යතාවක් විදිහට ලිංගිකත්වය හඳුනා ගන්නේ අවුරුදු 16-18 පමණ කාලයේදී. නමුත් ඔහුගේ විවාහය සිදුවන්නෙ අවුරුදු 28-30 තරම් කාලයේදී නම් ඔහුට තම මූලික අවශ්‍යතාවක් වන ලිංගිකත්වය පිළිබඳ හැඟීම වසර 10 ක පමණ කාලයක් යම් පීඩනයකට, සීමාවකට ලක් කිරීමට සිදුවෙනවා. සමාජය තුළ ලිංගික හැසිරීම් විවිධ ස්‌වරූපයෙන් ගොඩනැගීමට එක හේතුවක් මේක. එහි පළමුවැන්න පූර්ව ලිංගික අවශ්‍යතා. එනම් යම් පුද්ගලයෙක් විවාහ වීමට පෙර ඉටුකර ගන්නා ලිංගික අවශ්‍යතා. මෙහිදී ඇතැම් කෙනෙක් ස්‌වයං වින්දනයට පෙළඹෙන්න පුළුවන්. ඇතමෙක් සමලිංගික සේවනයට යොමුවෙන්න පුළුවන්. තව කෙනෙක් විරුද්ධ ලිංගිකයන් ඇසුරු කරන්න පුළුවන්.
සමාජීය වශයෙන් ලිංගික අවශ්‍යතා ඉටුකර ගැනීමේ මාර්ගය විවාහයක් සිදුකර ගැනීමයි. නමුත් විවිධ හේතු මත විවාහය පමාවන විට තරුණයෙක් හෝ තරුණියක් තම ලිංගික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා කිසියම් පූර්ව ලිංගික සබඳතාවයකට යොමු වීම ස්‌වාභාවික දෙයක්. නමුත් මේ ස්‌වාභාවික ක්‍රියාදාමයට අද සමාජය තුළ යම් ආකාරයක තහංචියක් පැනවී තිබෙනවා. ඒ ලිංගික සම්ප්‍රේෂණ රෝග. අද ලිංගික ක්‍රියාදාමයන් හරහා පැතිරෙන රෝග පිළිබඳ අපේ රටේ තත්ත්වය ඉතාමත් අවදානම්. මේ නිසා පූර්ව ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමක් හැටියට අන්තර්ජාලය හරහා ලිංගික ක්‍රියාකාරකම් නැරඹීමට අපේ රටේ පුද්ගලයන් වැඩි නැඹුරුවක් දක්‌වනවා. මේක මහා බරපතළ වරදක් නෙමෙයි. පුද්ගලයෙක් ස්‌වයං වින්දනයේ යෙදෙනවා වැනි අහිංසක ක්‍රියාවක්.
නමුත් මෙය සමාජ විරෝධී ක්‍රියාවක් ලෙස නේද සලකන්නෙ?
ලිංගික ආසාව මුල් කර ගනිමින් ගොඩනැගෙන ලිංගික ක්‍රියාව පැහැදිළිවම තෘප්තිය කේන්ද්‍රකරගත් බුද්ධිමය ක්‍රියාවක ප්‍රතිඵලයක්. ඒ සතුට ලබන්නට සහයෝගය, එකඟකම ආදී සමාජීය සහ සංස්‌කෘතික අංග ගණනාවක් එකතු වෙන්න ඕන. නමුත් අන්තර්ජාලය හරහා ලිංගික ක්‍රියාකාරකම් නැරඹීමෙන් එබඳු තෘප්තියක් ලැබෙන්නෙ නෑ. මේ හරහා කෙනකුට ඕනෑම අස්‌වාභාවික ක්‍රියාකාරකමකට එළැඹීමට ඉඩකඩ විවර වෙනවා. මෙය විශේෂයෙන් තරුණ පරපුරට විශාල හානියක්. පරිගණක සහ ජංගම දුරකතන අද සමාජයේ බහුල උපාංග බවට පත්වීම නිසා අපේ සමාජය තුළ මේ තත්ත්වය අද වඩාත් බරපතළ ස්‌වභාවයක් ගෙන තිබෙනවා. මුළු ජනගහනය මිලියන 20 ක් වන අපේ රටේ මේ වන විට ජංගම දුරකතන සඳහා යොදන සිම් කාඩ් මිලියන 20 කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර තිබෙනවා. අද ඇතැමුන් ජංගම දුරකතන 3 ක් පමණ භාවිත කරනවා. රටේ නීතිය අනුව එක් පුද්ගලයකුට සිම්කාඩ් පත් 5 ක් ලබා ගන්න පුළුවන්. අපේ රටේ බොහෝ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ජංගම දුරකතන හරහා ලිංගික වෙබ් අඩවිවලට පිවිසෙන බවට වාර්තා ලැබී තිබෙනව.
අන්තර්ජාලය හරහා එන, සමාජයට හානිකර මෙබඳු දේට වාරණයක් පනවන්න බැරිද?
රජය මේ පිළිබඳ විවිධ වැඩ පිළිවෙළවල් ක්‍රියාත්මක කළත් එය සාර්ථක වී ඇති බවක් පෙනෙන්නට නැහැ. තාක්‍ෂණික උපක්‍රම තුළින් මේ වෙබ් අඩවි තුළට පිවිසීමට පමුණුවා ඇති බාධා තාක්‍ෂණික උපක්‍රම තුළින්ම මගහරවා ගැනීමට හැකි දක්‍ෂයනුත් අපේ රටේ ඉන්නවා. තාක්‍ෂණික උපක්‍රම, නීතිරීති ආදි විවිධ දේ ගෙනාවත් මෙය වැළැක්‌වීමට නොහැකි වීමෙන් පෙනෙන්නේ වර්තමාන සමාජය තුළ ලිංගිකත්වයට ඇති ඉල්ලුමයි. ගූගල් වෙබ් අඩවිය ලෝක සමාජය සතු ලිංගිකත්වයට ඇති ඉල්ලුම පිළිබඳ මේ සමීක්‍ෂණය ආරම්භ කළේ 2004 දී. 2004 දී මේ දර්ශකයේ ශ්‍රී ලංකාව සිටියේ 51 වැනි ස්‌ථානය. නමුත් එයින් වසර 7 කට පසු එනම් 2012 දී ශ්‍රී ලංකාව එහි හිණිපෙත්තටම එනම් 100 වැනි ස්‌ථානයටම පත්ව සිටිනවා. ඒ අනුව ලිංගික කටයුතු පිළිබඳ සොයා බලන පුද්ගලයන් වැඩියෙන්ම සිටින රට බවට ශ්‍රී ලංකාව පත් වී තිබෙනවා. සිංහල අලුත් අවුරුදු සහ නත්තල් කාලය තුළ මේ සොයා බැලීම් වල කැපී පෙනෙන වැඩිවීමකුත් දක්‌නට ලැබෙනවා. එයින් පෙනෙන්නේ මේ ලිංගික වෙබ් අඩවිවලට අපේ රටේ වැඩිදුර පිවිසෙන්නේ පූර්ව ලිංගික අත්දැකීම් සොයන පිරිස බවයි.
නමුත් විවාහක පුද්ගලයනුත් මෙබඳු වෙබ් අඩවිවලට පිවිසෙන්නේ නැතැයි එයින් නිගමනය කරන්නට බැහැ. අද අපේ රටේ අනියම් ලිංගික සබඳතා වර්ධනය වෙමින් පවතින ආකාරය දෙස බලන විට තහවුරු වෙන්නේ අපේ රටේ විවාහකයන් වැඩි දෙනෙක් තම ලිංගික ජීවිතය පිළිබඳ අතෘප්තිකර තත්ත්වයක පසුවන බවයි. මෙබඳු තත්ත්වයන් සමාජයක් තුළ වර්ධනය වන්නේ ලිංගිකත්වය පිළිබඳ සොයා බලන්නට හෝ එයට සාමාන්‍ය තත්ත්වයෙන් එහාට යන්නට සමාජය සතු විශාල ඉල්ලුමක් ඇති විටයි. අපේ රට පිළිබඳ ගූගල් විමර්ශනය තුළින් හෙළිවන වැදගත්ම දේ මෙයයි. මෙයින් පෙනෙන්නේ අපේ රට සංවර්ධනය වුණාට විවිධ අංශවලින් දියුණු වුණාට ශිෂ්ට සම්පන්න වුණාට මූලික අවශ්‍යතාවයක් වන ලිංගිකත්වය පිළිබඳ නැතහොත් මානව ලිංගික හැසිරීම් පිළිබඳ අප තුළ තිබෙන දැනුම ඉතාමත් අල්ප බවයි.
ඇයි එහෙම තත්ත්වයක් අපේ රටේ ඇති වුණේ?
මේ තත්ත්වයට හේතුව ලිංගිකත්වය පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් නොලැබීමයි. ලෝකයේ වෙනත් රටවල පාසල් අධ්‍යාපනය දෙස බලන විට අනෙකුත් විෂයයන් වගේම ලිංගිකත්වය පිළිබඳවත් විධිමත් අධ්‍යාපනයක් ලබා දෙනව. අපේ රටේ ජාත්‍යන්තර පාසල්වල ඔවුන්ගේ විෂය නිර්දේශයන්හි ඇති ලිංගිකත්වය පිළිබඳ දැනුමක් ලබාදෙන පාඩම් මාලාවලට අපේ රටේ සංස්‌කෘතික කඩතුරාවෙන් වැහුණු ඇතැම් නායකයන් විරෝධය පළ කළා. මේ අනුව අපේ රටේ මේ අවශ්‍යතාව ඉටු කිරීමට ඇති බාධකය පවතින්නේ කොතනද යන්න පැහැදිලියි. පසුගිය කාලයේ අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ළමයින්ට ලිංගිකත්වය පිළිබඳ යම් ආකාරයක දැනුමක් ලබාදීමට පිළියෙල කළ උදා වූ යෞවනය නමින් නිර්මාණය කළ කෘතියත් තවම ප්‍රාදේශීය අධ්‍යාපන කාර්යාලවල හිරවෙලා තියෙනවා. දකුණේ සහ ඌව පළාත්වල මේ පිළිබඳ මා කළ පර්යේෂණවලිනුත් හෙළි වුණේ අපේ රටේ පාසල්වලින් විධිමත් ලෙස ලිංගික අධ්‍යාපනයක් ළමයින්ට නොලැබෙන බවයි. ඇතැම් පාසල්වල විද්‍යා විෂය නිර්දේශය යටතේ ඇති ප්‍රජනනය පාඩමවත් නිසිලෙස අවබෝධ කර දීමට ගුරුවරුන් කටයුතු කර නැහැ. වැඩිහිටියෝ හැටියට අපිත් අපේ මේ සංස්‌කෘතික කඩතුරාවේ සිටින මුර දේවතාවනුත් මේ තත්ත්වයට වගකියන්න ඕන.
උපුටා
ගැනීම - දිවයින
-සබැදි
පුවත්-