රොහාන් සමන් රත්නායක ( Rohan Saman rathnayake ) නමැති මේ සැකකරුට එරෙහි පරීක්ෂණ ආරම්භවීමත් සමඟ ඔහු 'නෝර්වේ' රටට පලා ගොස් තිබේ. ජාවාරමට සහාය දුන් සෙසු පිරිසට පලායා නොහැකි පරිදි අධිකරණ අවසරය මත සියලු ආරක්ෂක විධිවිධාන තරකර ඇත. කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ "ග්‍රීන් ෆීල්" නමින් ඉඩම් විකිණීමේ මධ්‍යස්ථානයක් පිහිටුවා ඊට අධ්‍යක්ෂක මණ්ඩලයක්ද පත්කරගෙන ඒ හරහා එම දැවැන්ත ඉඩම් ජාවාරම කරගෙන ගොස් තිබේ.
පුත්තලම වනාතවිල්ලු කැලෑවේ රජයට අයත් අක්කර 1800 ක ඉඩම් මොහු විකුණා ඇත්තේ එම ප්‍රදේශයේ හිටපු ප්‍රාදේශීය ලේකම්වරයාගේ ද සම්පූර්ණ සහාය ඇතිව බව ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයේ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. ජාත්‍යන්තර ජාලය හරහා ප්‍රසිද්ධියට පත් කර ඇති "ග්‍රීන් ෆීල්" ආයතනයේ ව්‍යාජ ඉඩම් අලෙවි ජාවාරමට මෙරට සහ ඉතාලියේ සහ ඉන්දියාවේ පදිංචිකරුවන් රැසක් හසුවී තිබේ. මේ වන විට ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයේ පරීක්ෂණවලින් අනාවරණය වී ඇති පරිදි ව්‍යාජ ඔප්පු හරහා රුපියල් කෝටි පහළොවකට ආසන්න ප්‍රමාණයක ඉඩම් විකුණා තිබේ.
වනාතවිල්ලුවේ සුඛෝපභෝගී සුපිරි නිවසක් තනා දේශපාලනඥයන්ට විවිධාකාර සැප සම්පත් එහිදී ලබාදීමට මේ ඉඩම් සක්විත්තා කටයුතු කර ඇති බව අනාවරණය වේ.
පුත්තලම දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතාටද මොහු ඉඩම් අක්කර 25ක් ලබාදී ඇති බව හෙළිවෙයි. ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය එම ඉඩම මේ වන විටත් තහනම් කර තිබේ. මේ ජාවාරමට සම්පූර්ණ සහාය දී අති ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල රථයේ තිබී ඉඩම්වලට තැනූ ව්‍යාජ ඔප්පු රැසක් ද සොයා ගැනීමට හැකිවී ඇත. නිලධාරියාගේ සේවය තහනම් කරන ලෙසට ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය අදාළ අංශවලට දැනුම් දී ඇත. ඉඩම් සක්විත්තාගේ මේ ජාවාරමට එම ප්‍රාදේශීය ලේකම්වරයාට අමතරව කොටි සංවිධානයේ හිටපු මුහුදු කොටි නායක සුසෙයිගේ මස්සිනාගේද සහාය ලබා ගෙන ඇත. ඔහු ද රජයේ ඉඩම් අක්කර ගණනාවක් ලබා ගෙන ඇත. ජාවාරමේ මහ මොළකරු නෝර්වේ රටට පලා ගොස් ඇත්තේ මොහුගේ සහාය ඇතිවය.
ඊට අමතරව එම ජාවාරමට මෙරට ප්‍රසිද්ධ නළුවකුද සහාය දක්වා ඇත.
ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් ගණනාවකටද මොහු ව්‍යාජ ඔප්පු සකස් කර විකුණා තිබේ. ඒ පිළිබඳ කතා කිරීමට ගිය ගම්වැසියන්ට මොහුගේ හමුදාව යොදා පහරදී ඇත.
ඉඩම් විකිණීමේ ජාවාරමට එරෙහිව කටයුතු කරන පුද්ගලයන් මර්දනය කිරීමට සහ මොහුගේ සුපිරි නිවසේ ආරක්ෂාවට විශ්‍රාමලත් මේජර්වරයකු සහ තවත් හමුදා සෙබළුන්ගෙන් සමන්විත හමුදාවක්ද පිහිටුවාගෙන තිබී ඇත. ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය මෙම වංචාව පිළිබඳ පරීක්ෂණ ආරම්භ කිරීමත් සමඟ ඔහුගේ එම හමුදාව එම නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කර තිබුණි. මේ වන විට ඔහුගේ 'ග්‍රීන් ෆීල්' ආයතනය අධ්‍යක්ෂක මණ්ඩලය හමුදාව ආගිය අතක් නොමැත. ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය තවදුරටත් පරීක්ෂණ සිදු කරයි.
උපුටා
ගැනීම - දිනමිණ