මාලිංගට මුහුණදීමට ‘Home Work’ අකුරටම කළ යුතුයි - ඩේවිඩ් හසී

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර හෙට ආරම්භ වන එක්දින තරගාවලියේ දී ලසිත් මාලිංගට සාර්ථකව මුහුණදීමට නම් ඔස්ට්‍රේලියා පිතිකරුවන් තම 'ගෙදර වැඩ' අකුරටම ඉටුකළ යුතුව ඇතැයි ඩේවිඩ් හසී විශ්වාසය පලකළේය.ඔස්ට්‍රේලියාවේ මේ දිනවල පැවැත්වෙන බිග් බෑෂ් විස්සයි20 තරගාවලියේ දී හසී නියෝජනය කරන මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමේ ප්‍රධානතම පන්දුයවන්නා වන මාලිංගගේ විවිධාකාරයේ පන්දු වර්ග 3ක් සැලකිල්ලට ගනිමින් ඔහු මේ බව කියා සිටියේය.

බිග් බෑෂ් තරගාවලියේ ‍මේ වනවිට වැඩිම කඩුලු ලාභියා වන මාලිංග එක්දින පිලට එක්වීමෙන් ටෙස්ට් තරගමාලාව පරාජයට පත්වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට විශාල සහනයක් වනු ඇති බවත් හසී කීවේය.


වටහාගත නොහැකි විවිධාකාරයේ පන්දු යවන අජන්ත මෙන්ඩිස් සහ අකිල ධනංජයත් එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට ඉඩ ඇතත් ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට වැඩිම පීඩනයක් ගෙනදීමට හැකියාව ඇත්තේ මාලිංගට බව හසීගේ විශ්වාසයයි. මාලිංග‍ගේ මන්දගාමී පන්දුවත්, බවුන්සර් පන්දුවත්, යෝකර් පන්දුවත් තම පිතිකරුවන් ඉතා බැරෑරුම් ලෙස අධ්‍යයනය කළ යුතුව ඇතැයි ඔහු කීවේය.

'ලොව හොඳම පන්දු යවන්නන් කීපදෙනෙක් ඔවුන්ට (ශ්‍රී ලංකාවට) සිටිනවා. ලසිත් මාලිංග ඒ අතර ප්‍රධානයි.

ඔහු සමග මෙල්බර්න් ස්ටාර්ස් පි‍ලේ එකට ක්‍රීඩා කිරීමට මට අවස්ථාව ලැබීම එක අතකින් වාසනාවක්.

ඔහු ‍දැන් ඔහුගේ හොඳම දක්ෂතා අතරයි සිටින්නේ. කොයිතරම් ‍නොසන්සුන් වුණත් ඔහුට මුහුණදීමට බයවෙන්න එපා. අපි කොහොමටත් ලොව හොඳම පන්දු යවන්නන්ට මුහුණදිය යුතුයි.

ඒ නිසා ඔහුට එරෙහිව ක්‍රීඩා කිරීමට ලැබීම විශිෂ්ට දෙයක්. ඔහුට හොඳින් මුහුණදීමෙන් කණ්ඩායමේ විශ්වාසය වාගෙම පිතිකරුගේ විශ්වාසයත් වැඩිවේවි.' හසී පැවැසීය.

මාලිංගට මුහුණදීමේ දී ඔහුගේ එකිනෙකට වෙනස් පන්දු 3ක් සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව හසීගේ අදහසය. 'ඉතා වේගවත් බවුන්සර් පන්දුවක්, ඉතා භයානක යෝකර් පන්දුවක් සහ වටහාගත නොහැකි මන්දගාමී පන්දුවක් ඔහු සතුව තිබෙනවා.

ඒවාට සාර්ථකව මුහුණදීමට ඔබ සැලසුම් සහගත විය යුතුයි.' හසී වැඩිදුරටත් කීවේය.

හෙට පැවැත්වෙන පළමු එක්දින තරග‍යේ දී හසීට සිය කණ්ඩායම වෙනුවෙන් ප්‍රධාන භූමිකාවක් රඟ දැක්විය යුතුව තිබේ. මයිකල් ක්ලාක් සහ ෂේන් වොට්සන් නොමැතිවීමත්.

ඔහුගේ සොයුරු මයිකල් හසී ක්‍රීඩාවෙන් සමුගැනීමත් හේතුවෙන් එක්දින තරගාවලියේ දී ඩේවිඩ් හසීගේ කරමත විශාල වගකිමක් පැවැරී තිබේ. නැවත කණ්ඩායමට එක්වූ බ්‍රැඩ් හැඩින් හැරුණුවිට කණ්ඩායමේ අත්දැකීම් බහුලතම ක්‍රීඩකයා ඔහුය.

Gossip Lanka Hot News Previous News Archive