රනිල්ගේ වම්බටු කතාවත හරියට පතෝල වගෙයි. - Johnston Fernando

එක්සත් ජාතික පක්‍ෂයත් අද පත්වී තිබෙන්නේ කාලය ඉකුත් වූ තත්ත්වයකටයි. පක්‍ෂ නායකයා වම්බටු මිල ගැන කතා කර තිබුණා. එයාගේ කතාවත් හරියට පතෝල වගෙයි. කිසිම ගුණයක් නැහැ.
නියඟයෙන් හා ගංවතුරින් වාසි ලබාගන්නට උත්සාහ කළ විපක්‍ෂය දැන් එළවළු මිල ඉහළ ගිය විට එයත් රජයේ වැඩපිළිවෙළට එකතු කරන්නට උත්සාහ දරනවා. එක්සත් ජාතික පක්‍ෂය හා අනිකුත් පක්‍ෂවල සමඟියක්වත් දක්නට නැහැ. රජයේ බලාපොරොත්තුව ගොවියා ආරක්‍ෂා කිරීම වන හෙයින් විපක්‍ෂයේ විහිළුවලට රටේ ජනතාව නොරැවටෙන බව විශ්වාස යැයි සමුපකාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
ශ්‍රී ලංකා රතුකුරුස සංගමයේ සහාය මත කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නියඟයෙන් අවතැන්ව සිටි ගොවි පවුල් දෙසීයකට සහනාධාර ලබාදීමේ උත්සවයේදී අමාත්‍යවරයා එසේ කීය
වැඩිදුරටත් කතා කළ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේද කීය.


රජය සැම විටම කටයුතු කරනුයේ දීර්ඝ සැලැසුමක් සමඟයි. ගොවි ආර්ථිකය නඟාසිටුවීම රජයේ මූලික පරමාර්ථයයි. ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් වීම රජය මෙන්ම අනිකුත් අංශවලද බලාපොරොත්තුවයි. රජය ජනතාවට උදවු කරනුයේද පක්‍ෂ බේදයෙන් තොරවයි. විපක්‍ෂයට අවශ්‍ය වී ඇත්තේ කෙසේ හෝ රජය අපකීර්තියට පත්කිරීමයි.

එළවළු මිල අද ඉහළ ගොස් තිබීම සත්‍යයක්. විවිධ හේතුන් මත එසේ මිල ඉහළ යෑම සිදුවී තිබෙනවා. එයිනුත් වාසි ගන්නට විපක්‍ෂය උත්සාහ කරනවා නම් එය විහිළුවට කාරණයක්. රජය සැම විටම දීර්ඝකාලීන ආර්ථික සංවර්ධනය බලාපොරොත්තුවෙනුයි කටයුතු කරන්නේ. අද ගොවි ප්‍රශ්න මෙන්ම වල් අලි ප්‍රශ්නද මතුවෙන්නට පටන්ගෙන තිබේ. අලින් රැක ගැනීමත් අද ප්‍රශ්නයක්.

දැදුරුඔය ව්‍යාපෘතිය වෙනුවෙන් රජය අද රුපියල් ලක්‍ෂ හැත්තෑදහසක් ලබාදී තිබෙනවා. කුඹුරු අක්කර තිස්දහසකට එමඟින් ජලය ලබාගෙන අලුතින්ම වගා කරන්නට හැකිවේවි. වැව් තුන්සියයක් පමණ ජලයෙන් පුරවන්නටද අවකාශ ලැබේවි. නව ගොවි ආර්ථිකයක් එමඟින් නිර්මාණය කරන්නට පුළුවන්. මෙවැනි දැවැන්ත ව්‍යාපෘති ආරම්භ කරන්නේ මෙරට ජනතාව නඟාසිටුවීමටයි.



Gossip Lanka Hot News Previous News Archive