සඳුදා සිට මේ රටේ තිබෙන්නේ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවක් - (JVP) Anura Kumara Dissanayake

මෙම මස 10,11 දෙදින තුළ දෝෂාභියෝගය විවාදයට ලක්කොට සිකුරාදා රාතී‍්‍ර වනවිට අගවිනිසුරුවරිය ඉවත් කිරීමටත් ලබන සඳුදා දිනයේ නව අගවිනිසුරුවරයෙකු පත්කර ගැනීමටත් ආණ්ඩුව සූදානම් බව බවත් ඒ අනුව ලබන සඳුදා සිට මේ රටේ තිබෙන්නේ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවක් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (09) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.


මෙම මාධ්‍ය හමුවට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාද සහභාගිවී සිටි අතර එහිදී ඔවුන් වැඩිදුරටත් දැක්වූ අදහස් පහත පළවේ.

අනුර දිසානායක මන්ත්‍රීවරයා අදහස් දක්වමින්

‘‘පළමුව මන්තී‍්‍රවරු 117ක් අත්සන් කොට චෝදනා 14ක් සහිතව දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එම චෝදනාවල දින වකවානු නම් ගම් සමහර සිදුවීම් ආදිය සම්පූර්ණයෙන් වැරදිසහගත, ව්‍යාකූල එකක් බව පැහැදිළි වුණා. එමගින් පෙන්නුම් කළා අගවිනිසුරුතුමිය නෙරපීම සඳහාම සැලසුම් කළ, නියමිත දින වකවානුවක් තුළදී ඉවත්කර දැමීමේ අරමුණින් ගෙන ආ එකක් බව. ඉන්පසු කථානායකවරයා විසින් එය විභාගයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළා. එහි සංයුතිය පිළිගන්න බැහැ. එය මුළුමනින්ම චෝදනා ඉදිරිපත් කරන පාර්ශ්වයේ වාසිය සඳහාම ආණ්ඩුවේ බහුතරයෙන් සම්මත කරගැනීමේ අරමුණින් ගෙනගිය කි‍්‍රයාදාමයක්. එනිසා එම කි‍්‍රයාවලිය කිසිසේත්ම සම්මත ස්වභාවික යුක්ති මූලධර්මවලට පටහැනියි. එය අත්තනෝමතිකභාවයෙන් පිරුණු අගවිනිසුරුවරියගේ පාර්ශ්වයේ නීතිඥයින්ගේ අදහස් මුළුමනින් තලා පෙළා දාපු කි‍්‍රයාවලියක්. එනිසා විපක්‍ෂයේ සාමාජිකයින් කමිටුවෙන් ඉවත් වුණා. හදිසියේ සාක්‍ෂිකරුවන් කැඳවලා වාර්තාවක් හැදුවා. එම වාර්තාව අප පිළිගන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය මගින් තීන්දුවක් ලබාදී තිබෙනවා ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙන බව. එය ව්‍යවස්ථාවේ මූලික නීතිවලද සඳහන් වෙනවා. ආණ්ඩුව එම මූලික නීතිය උල්ලංඝනය කර තිබෙනවා. අභියාචනාධිකරණයේ දෙවන තීරණය පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව නීති විරෝධී බවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නීති විරෝධී බවත් එම දෙකම පිළිගත නොහැකි බවත් තීරණය කොට හමාරයි.

එම තීරණය අපගේ නියෝජිතයාත් හවුල් වී එළඹෙන ලද තීරණයක් නිසාත් අපි එය පිළිගන්නවා. එසේ තිබියදී 7වනදා පක්‍ෂ නායක රැස්වීමක් කැඳෙව්වා. පෙර පාර්ලිමේන්තු සභා වාරයේදී තීන්දු කර තිබූ තීන්දුවලට පටහැනිව යමින් 10වැනිදා සහ 11 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමටත් ඒ දින දෙක තුළ දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේදී විවාද කිරීමටත් තීරණය කළා. එහිදී අපි සෘජුව විමසා සිටියා ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපනයත් අභියාචනාධිකරණයේ තීන්දුත් අනුව පාර්ලිමේන්තුවේදී විවාදයට ගත නොහැකි බව. නමුත් ආණ්ඩුව අධිකරණ තීන්දුව පිළි නොගන්නා බව නිමල් සිරිපාල ඇමතිවරයා විසින් ප‍්‍රකාශ කළා. නමුත් ආණ්ඩුව දිවි නැගුම පනතේ වගන්ති 16කට එරෙහිව අධිකරණය දුන් අර්ථ නිරූපනය පිළිගත්තා. කථානායකතුමා පැහැදිළිව කියා සිටියා ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙන බව. ඒ වගේම විසර්ජන පනතටත් සැකකරුවන් පැය 48ක් රඳවාගැනීමේ නීති කෙටුම්පතටත් අධිකරණය ගෙන ආ අර්ථ නිරූපනය ආණඩුව පිළිගත්තා. නමුත් ආණ්ඩුව දෝෂාභියෝගයට තේරීම් කාරක සභාව ගෙනා වාර්තාව පදනම් කරගනිමින් අධිකරණ තීන්දු ඉවත දමනවා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුවත් අධිකරණයේ විවාදයට ලක්ව තිබෙන කරුණක් පාර්ලිමේන්තුවේදී විවාදට ගත නොහැකි බව සඳහන් කොට තිබෙනවා.

එනිසා ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවට අනුවත් ස්ථාවර නියෝගවලට අනුවත් දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේදී විවාදයට ගත නොහැකි බව පේනවා. නමුත් ආණ්ඩුව අත්තනෝමතිකව එය විවාදයට ගැනීමට තීරණය කළා. කණ්ඩායම් රැස්වීමෙන් අපි ඉවත් වුණා. විපක්‍ෂය නැති අවස්ථාවක තමයි 10, 11දෙදින තුළ විවාදයට දින යොදාගත්තේ. එය පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට පටහැණියි. ආණ්ඩුව පාර්ලිමේන්තු සම්ප‍්‍රදායත් මුළුමනින්ම උල්ලංඝනය කළා. ඒනිසා මේ දෝෂාභියෝග ක‍්‍රියාවලිය මුළුමනින්ම නීති සම්ප‍්‍රදායන් නොසළකපු කි‍්‍රයාවලියක්.

අපි තරයේ කියා සිටිනවා විවාදය නොපැවැත්විය යුතුයි කියලා. අභියාචනාධිකරණයේ දෙවැනි තීන්දුවට අනුව කාරක සභා වාර්තාවක් දැන් නැහැ. කවුරු හෝ එම අධිකරණ තීන්දු පිළිගන්නවා නම් එවැනි විවාදයකට සහභාගි වෙන්න කිසිදු මන්තී‍්‍රවරයෙකුට හැකියාව නැහැ. අපි වගකීමෙන් කියනවා ජනතා විමුක්ති පෙරමුණත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයත් පාර්ලමේන්තු විවාදයට සහභාගි වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවෙන් පිටත සිදුකරන සියලූ අරගලවලට අපි සහයෝගය දෙනවා.

මේ ආණ්ඩුව ව්‍යවස්ථාවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු, පාර්ලිමේන්තු සම්ප‍්‍රදායත් පිළි නොගන්නා ආණ්ඩුවක්. එම ආණ්ඩුව මේ රටේ පැවතිය යුතුද නැත්ද කියලා ජනතාව තීරණය කළ යුතුයි. කවුරුන් හෝ දඩයම් කිරීමට ආණඩුවට අවශ්‍ය නම් ඕනෑම නීතිමය ආයතනයක් ඕනෑම ව්‍යවස්ථාවක් උල්ලංඝනය කිරීමට මේ ආණ්ඩුව පැකිළෙන්නේ නැහැ. එවැනි ආණ්ඩුවක් රට පාලනය කරන්නේ ඒකාධිපති වියරුවෙන්.

පාර්ලිමේන්තුවේ 2/3 සුජාතභාවයෙන් නිර්මාණය කරගත්තක් නොවෙයි. ජනතාවගේ බදුමුදල්වලින් මන්තී‍්‍රවරු මිලදී ගෙන හදපු 2/3 බලයක්. ඒනිසා මේ ආණ්ඩුවට කිසිදු සුජාතභාවයක් නැහැ. විධායක ජනාධිපතිවරයාටත් සුජාතභාවයක් නැහැ. ඔහු දිවුරුම් දීමේදී සටහන් තබනවා, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගෞරව බහුමානයෙන් ආරක්‍ෂා කරන බවට. නමුත් මේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාව පිළිගන්නේ නැහැ. එතැන් සිට ඔහු ව්‍යවස්ථානුකූල ජනාධිපතිවරයෙක් නොවෙයි. ඔහුට සුජාතභාවයක් නැහැ.

ආණ්ඩුවේ සූදානම තිබෙන්නේ 10,11 දෙදින දෝෂාභියෝගය විවාදයට ලක්කොට සිකුරාදා රාතී‍්‍ර වනවිට අගවිනිසුරුවරිය ඉවත්කොට ලබන සඳුදා දිනයේ නව අගවිනිසුරුවරයෙකු පත්කර ගැනීමටයි. ලබන සඳුදා සිට මේ රටේ තිබෙන්නේ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවක්. එවැනි පාලනයකට ඉඩදිය යුතු නැති බව අප කියා සිටිනවා. මේ රටේ නීතිය රාජපක්‍ෂගේ හිතට එන අදහස් නම්, ඔහුගේ තීරණ නම්, මේ රට ශිෂ්ඨ සම්පන්න රටක් නෙවෙයි, ඒකාධිපති වියරුවෙන් පාලනය වන රටක්. ‘‘රාජ්‍ය නම් මමය” යන ස්ථාවරය නම් රටේ තිබෙන්නේ එවැනි පාලනයක් රටේ ඒකාධිපති පාලනයකි. රටේ මූල්‍ය පැත්තෙන් ගත්තත් නීතිය පැත්තෙන් ගත්තත් ඒකාධිපති පාලනයක් අපට දකින්න තිබෙන්නේ.

ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී සිදුකරන විවාදයට අපි කිසි සේත් සම්බන්ධ වන්නේ නැහැ එසේ සම්බන්ධ වුවහොත් අපි අධිකරණ තීන්දුව නොසලකා හැරියා වෙනවා. එනිසා අපි කිසිසේත් ආන්ඩුවට තනි රකින්නේ නැහැ. අදහස් ප‍්‍රකාශ කිරීමට පාර්ලිමේන්තුව පමණක්ම තිබෙන පක්‍ෂ විවාදයට සම්බන්ධ වේවි. අපට අරගලය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ පමණක් නොවේ. ඉන් පිටත ඕනෑතරම් අරගල අපට තිබෙනවා. එනිසා ආණ්ඩු ගෙනයන මෙම අත්තනෝමතික කි‍්‍රයාවලියට අපි කිසිසේත් සම්බන්ධ වෙන්නේ නැහැ.

හෙට දිනයේ මෙම ඒකාධිපති වියරුවේ ප‍්‍රහාරය ඔබේ හිස මතට එල්ල වනතුරු බලා නොසිට මෙම ඒකාධිපති වියරුවට එරෙහිව පෙරට එන ලෙස මෙරට ජනමාධ්‍යවේදීන්ගෙන්, සියලූ ජනතාවගෙන් බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා.

ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්....

කැළණිය ගම්පහ ජනතාව දන්නවා කැළණිය ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර කණ්ඩායමත්, මර්වින් සිල්වා අතරත් ගැටුමක් තිබෙන බව. මෙම ඝාතනයට මර්වින් සිල්වා වගකිවයුතු බව ශී‍්‍රලනිප මන්තී‍්‍ර කණ්ඩායම තරයේ කියා සිටිනවා. එක් පැත්තකින් පෙන්වනවා ආණ්ඩුව අභ්‍යන්තරයේ බරපතල ගැටුමක් නිර්මාණය වී ඇති බව. පසුගිය කාලයෙත් ඔබ දුටුවා ආණඩුවේ විවිධ පාර්ශ්වයන් අතර ගහ මරාගැනීම් තිබුණා. ආණ්ඩුවක් කඩා වැටෙන්න පටන් ගත්තාම මෙවැනි අර්බුද මතුවෙනවා. ජනතාවගෙන් එල්ල වුණු විරෝධය හමුවේ ආණ්ඩුව කිහිප දෙනෙක් අත් අඩංගුවට ගත්තා මොවුන් මර්වින් සිල්වාගේ ප‍්‍රබල ආධාරකරුවන්. විධායකය මෙහෙයවන ඇමති මණ්ඩලයේ ඇමතිවරුන්ගේ සම්බන්ධීකරණ ලේකම්ලා ලඟ අවි ආයුද තිබෙනවා. ඒ අවි ආයුධ දරන්නන් තමයි මීට පෙර නීතිඥ මහත්වරුන්ට තර්ජන එල්ල කළේ. ආණඩුව දැන් මෙය පෞද්ගලික ගැටුමක් බවට ලඝු කරන්න හදනවා. මෙවැනි පටු තැන්වලට ලඝූ කරලා මෙම සිද්ධිය යටපත් කරන්න දෙන්න බැහැ. ඇමතිවරුන්ගේ මැර කණ්ඩායම් මගින් රට පාලනය කරන සංස්කෘතියක් නැවතත් නිර්මාණය වෙමින් එනවා. මෙය ආණඩුවේ රාජ්‍ය ත‍්‍රස්තවාදයයි.

මංජුල තිලකරත්න මහතාට පහර දුන්නේ මෙම රාජ්‍ය ත‍්‍රස්තවාදයේ සාමාජිකයන්. ඊට එරෙහිව තවමත් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ. පරීක්‍ෂණ නැහැ. ආණ්ඩුවේ වුවමනාවට අනුව සමහර විත්තිකරුවන් අල්ලනවාද නැද්ද යන්න තීරණය වන්නේ. අභියාචනාධිකරණයේ විනිසුරු ස්කන්ධරාජා මහතාට, අනිල් ගුණරත්න මහතාට, විජේදාස රාජපක්‍ෂ මහතාට, ගුණරත්න වන්නිනායක මහතාට මරණ තර්ජන එල්ල වුණා.මේ රටේ නීතිය වෙනුවෙන් පෙනී සිටින විනිසුරුන්ට මෙලෙස මරණ තර්ජන එල්ල වෙනවා නම් මේ රටේ සිවිල් පුරවැසියන්ගේ ජීවිත පිළිබඳ තත්වය කුමක්ද? ඔවුන්ගේ ජීවිත ඉතා අනතුරුදායක තත්වයකට පත්වෙලා.''

Gossip Lanka Hot News Previous News Archive