කමල් හසන්ගේ Viswaroopam ලංකාවේ ප්‍රදර්ශනය කිරීම තහනම් - Kamal Hassan's Viswaroopam Ban In Sri Lanka

ප්‍රවීණ ජනප්‍රිය දෙමළ චිත්‍රපට නළුවකු වන කමල් හසන් නිෂ්පාදනය කොට අධ්‍යක්‍ෂණය කළ 'විශ්ව රූපම්' දෙමළ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (24දා) තීරණය කළ බව අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
 අද (25දා) ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේදී තිරගත වීමට නියමිතව තිබූ 'විශ්වරූපම්' චිත්‍රපටය චරපුරුෂ කතාවක් සහිත චිත්‍රපටයක් වන අතර තමිල්නාඩුවේ මුස්ලිම් දේශපාලන පක්‍ෂ කීපයක්ම එම චිත්‍රපටය තිරගත කිරීමට විරුද්ධව මදුරාසි අධිකරණයෙන් තහනම් නියෝගයක් දින 14කට ලබාගෙන ඇත.
 ශ්‍රී ලංකා රැඟුම් පාලක මණ්ඩලය විසින් එම චිත්‍රපටයේ මතභේදාත්මක කොටස් ඉවත් කළත් තමන් එම චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීම තාවකාලිකව නැවැත් වූ බව පැවැසූ ඇමැතිවරයා ලෝකය විශ්ව ගම්මානයක් වී ඇති නිසා 23වැනි දා එම චිත්‍රපටය චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්සේ රුපියල් 1000ක් ගෙවා ඉන්දියාවේ බොහෝ පිරිසක් නරඹා ඇතැයිද පැවැසුවේය.

 මේ චිත්‍රපටයට එරෙහිව මුස්ලිම් විරෝධයක් මතුවීම නිසා 'තමිල්නාඩු මුස්ලිම් මුන්නේත්‍රකලහම් පක්‍ෂය' චිත්‍රපටය තමන් හට පෙන්වන ලෙස අධ්‍යක්‍ෂ කමල් හසන්ගෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව තමිල්නාඩු මුස්ලිම් නායකයන් හට චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පවත්වා ඇති අතර ඒ අවස්ථාවේ එහි ඇති සමහර දර්ශනවලට ඔවුන් විරෝධය පළ කර මදුරාසි මහාධිකරණයෙන් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම වැළැක්වීමේ වාරණ නියෝගයක් ලබා ගෙන තිබේ.
මදුරාසි මහාධිකරණය විසින් විශ්වරූපම් චිත්‍රපටය මධ්‍යම චිත්‍රපට මණ්ඩලයේ සහතිකය ලබා ගන්නාතුරු තාවකාලිකව තහනම් කර තිබේ.

Gossip Lanka Hot News Previous News Archive