'' නොතීසි ලැබුණට අපි උසාවි යන්නේ නැහැ. ගියෙත් නැහැ. යන්නෙත් නැතැයි'' ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග චෝදනාව විමර්ෂණය කිරීම සඳහා පත් කළ විශේෂ කාරක සභාවට අධිකරණය හමුවෙහි පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කළ ද එය පාර්ලිමේන්තුවේ කටයුත්තක් බැවින් ආණ්ඩු පක්ෂය නියෝජනය කළ සාමාජිකයින් අධිකරණයට නොයන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසිය.
හෙට (03) උසාවිය හමුවෙහි පෙනී සිටින ලෙස විශේෂ කාරක සභාවට අධිකරණය මගින් නොතීසි නිකුත් කර ඇත.
කතානායකවරයා විසින් පත් කළ මෙම විශේෂ කාරක සභාව සිය වාර්ථාව නිකුත් කරමින් එහි කටයුතු අවසන් කර ඇති බවත් ඔවුන් මේ වනවිට එහි සාමාජිකයින් නොවන බවත් කොළඹ මහවැලි කේන්ද්‍රයේ අද (03) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුවත්පත් සාකච්ජාවක දී ඇමැතිවරයා ඒ බව කියා සිටියේය.
මහජන නියෝජිතයින්ගෙන් සැදුම්ලත් උත්තරීතර ආයතනය පාර්ලිමේන්තුව බවත් එයට අභියෝග කිරීමට අධිකරණයට බලයක් නැති බවක් ඇමැතිවරයා අවධාරණය කරයි. එබැවින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අධිකරණයේ පෙනී සිටිය යුතු නැති බවත්, ඉදිරියේ දී පෙනී නොසිටින බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසිය.