අධිකරණයට රාජපාක්ෂික විනිසුරුවරයෙක් දාන්න හදනවා. මැදමුලන තියරියට ජනතාව යටත්විය යුතු නැහැ- PMD

අධිකරණයට රාජපාක්ෂික විනිසුරුවරයෙක් දාන්න හදනබවත් මැදමුලන තියරියට ජනතාව යටත්විය යුතු නැති බවත් ඊයේ (07) කොළඹ හයිඩ් පිටියේ පැවති රැලියේදී ජනතාව ඇමතූ කථිකයෝ අවධාරණය කර සිටියහ. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනාතා ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ එම රැළියේදී කථිකයන් දැක්වූ අදහස් තවදුරටත් පහත පළවේ.






පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා.


"රාජපක්ෂ පාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදය අකුලලා ඒකාධිපති පවුල් පාලනයට යන්න තමයි උත්සාහ කරමින් ඉන්නේ. ඊට එරෙහිව ජනතාව පෙළගස්වන විරෝධතා රැුලියේ ආරම්භයයි මේ. මේ ආරම්භ කළා පමණයි. මීට අවුරුදු එකහමාරකට ඉහතදී ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පුටුවේ වාඩි කළේ මහින්ද රාජපක්ෂමයි. දැන් ඔහුම අවුරුදු එකහමාරක් යන විට අගවිනිසුරුවරිය නෙරපා දමන්න කුමන්ත‍්‍රණ දියත් කරනවා. මහින්ද රාජපක්ෂ පාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතිය, සම්ප‍්‍රදාය ආරක්ෂා කරන්නේ නැහැ. ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉටු කරන්නේ නැහැ. ගොවීන්ගේ ගැටලූවලට විසඳුම් දෙන්නේ නැහැ. ධීවර ජනතාවගේ ගැටලූවලට සහන සලසලන්නේ නැහැ. ඔවුන්ගේ ජීවිත කඩාවැටිලා. පාරේ බැහැලා උද්ඝෝෂණ කරනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉතිහාසයේ පළමු වතාවට ගාල්ලේ සිට කොළඹට පාගමන් ආවා. ලක්ෂ 20ක් තරුණ තරුණියෝ ජීවත් වෙන්න රැුකියාවක් නැතුව පාරට බැහැලා. විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගේ සිට මේ රටේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ ප‍්‍රශ්න ටික විසඳන්න රාජපක්ෂ ආණ්ඩුවට බැරිවෙලා තියෙනවා. සෑම ක්‍ෂේත‍්‍රයකම ජනතාව ව්‍යවසනයකට, පීඩාවකට ඇදලා දාලා තියෙනවා. ආර්ථිකය කඩා වැටිලා. රාජ්‍ය සේවකයන්ගේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ගැටලූවලට විසඳුම් නැහැ.

දැන් මේ ගෙනියන්නේ වියරු පාලනයක්. අධිකරණ පද්ධතියට තර්ජනය එල්ල වෙලා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස, නීතිය කඩා දමලා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කටයුතු කරන ආයතන, පුද්ගලයන් හඹාගෙන ගොස් දඩයම් කරනවා. මාධ්‍ය ආයතනයක ප‍්‍රධානියෙක් වුණු ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කළා, පෝද්දල ජයන්තගේ අතපය කැඩුවා. මාධ්‍ය ආයතනවලට ගල්ගැසුවා, ගිනි තිබ්බා, තර්ජනය කළා. නැතිනම් සල්ලි දීලා ගත්තා. පළමුව අත තිබ්බේ මාධ්‍යවලටයි. දෙවැනි මෙහෙයුම වෙඞ් අඩවි මර්දනයයි.

දැන් රාජපක්ෂ ආණ්ඩුවට බාධාව වෙලා තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. ශ්‍රේෂ්ඨාධිකරණය ඉසෙඞ් ස්කෝර් තීන්දුව ජනතාවගේ පැත්තේ ඉඳලා ලබාදුන්නා. ඒ නිසා ආණ්ඩුවට කෝටි 400ක් මුදල් වෙන් කරන්න වුණා. වැඩි පිරිසක් විශ්වවිද්‍යාලවලට ගන්න සිදුවුණා. ආණ්ඩුවේ වැඩපිළිවෙළ තිබුණේ විශ්වවිද්‍යාලවලට ගන්න ළමුන් පිරිස අඩුකරන්න, අධ්‍යාපනයට ලබාදෙන මුදල් කපා හරින්න. ඒත් ආණ්ඩුවේ උවමනාව අධිකරණ තීන්දුවත් එක්ක ගැටුනා. මහින්ද රාජපක්ෂ කඩුව අමෝරාගෙන ආවේ ඒ නිසයි. අනෙක් කරුණ තමයි දිවි නැගුම පනතෙන් සමෘද්ධි මුදල් කෝටි 4000ක් තමන්ගේ පාලනයට ගන්න රාජපක්ෂගේ මල්ලි බැසිල් උත්සාහ කළා. මේ රටේ දිළිදු ජනතාව ඉතිරි කරපු මුදල්. මේ රටේ නිධානයක් තියාගන්න, කටු ගේ කඩුවක් තියාගන්න නොදෙන ආණ්ඩුවක් සමෘද්ධි මුදල් කෝටි 4000ක් තියාගන්න දෙයිද?

තමන්ගේ උවමනාවන් ඉටුකරගන්න දැන් රාජපක්ෂ පවුල අධිකරණයට දාන්න රජපක්ෂ කෙනෙක් හොයනවා. රාජපාක්ෂික අගවිනිසුරු කෙනෙක් ගේන්න හදනවා. ආණ්ඩුවට පෙරකදෝරුවෝ නැහැ. අඩුම ගානේ ගොඩ පෙරකදෝරුවොත් නැහැ. ආණ්ඩුවට ඉන්නේ අංගොඩ පෙරකදෝරුවෝ ටිකක්. රාජපක්ෂ වටකරගෙන ඉන්නේ එහෙම අය ටිකක්. ඒ අය තමයි දැන් ව්‍යවස්ථාව අර්ථනිරූපනය කරන්නේ. පාර්ලිමේන්තුව උත්තරීතරයිලූ. සංකල්ප පාර්ලිමේන්තුව නම් උත්තරීතරයි කියලා හිතන්න පුළුවන්. දැන් මේ තියෙන පාර්ලිමේන්තුව කොහෙද උත්තරීතර. මර්වින් සිල්වත් ඉන්න තැන. මුදල්වලට විකිණෙන මන්ත‍්‍රීවරු ඉන්න තැන. ජනතාවගේ නියෝජනයක් හරියට පිළිඹිබු වෙන්නේ නැහැ. ඒකේ ඉන්නේ කම්බා හොරු. එහාට මෙහාට පනින අය ඉන්නේ. විකෘති තුනෙන් දෙකේ බලය හදාගෙන 18 වෙනි සංශෝධනය සම්මත කරගත්තා. ඒ සංශෝධනෙත් විකෘති එකක්. දාරක පේ‍්‍රමයෙන් ගෙනාපු මාරකයක්. ඉතිං කොහොමද උත්තරීතර වෙන්නේ.

රාජපක්ෂ පවුල දැන් ගමන් කරමින් සිටින්නේ තමන් එලපු මාර්ග සිතියම අනුවයි. ඒකට අනුව තමයි දෝෂාභියෝගය ගෙනාවේ. ඒකට අනුව තමයි පාර්ලිමේන්තු කමිටුව හැදුවේ. වාර්තාව සකස් කළේ ඒ උවමනාවට. ඒ වාර්තාව සම්මත කරගන්න ශ්‍රේෂ්ඨාධිකරණයත්, අභියාචනාධිකරණයත් දැන් බාධාවක් වෙලා. පාර්ලිමේන්තුව උත්තරීතරයි කියලා ලේබල් අලවන්නේ අධිකරණය මගහරින්නයි. එයට අප යටත්විය යුතු නැහැ. ඒ වෙනුවෙන් තමයි ගුණරත්න වන්නිනායකගේ ඔළුවට පිස්තෝලය එල්ල කළේ. විජේදාස රාජලපක්ෂගේ නිවෙසට පිස්තෝලය එල්ල කළේ. මේ රාජපක්ෂ පාලනයේ කුමන වියරුවක්ද? මඩගහලා වෙඩි තියලා වියරු වැටිලා සිටින පාලනයක්. ඒ වියරුවට එරෙහිව ශක්තිමත් පෙරමුණක් ගොඩ නගන්න ඕනෑ.

අද (07) තිබුණ පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩුව කිව්වා අධිකරණ තීන්දුව පිළිගන්නේ නැහැ කියලා. විපක්ෂය කිව්වා කමිටුවත්, කමිටු වාර්තාවත් පිළිගන්නේ නැහැ කියලා. වාර්තාව පාර්ලිමේන්තුවේදී විවාද කරනවට විරුද්ධයි කිව්වා. දැන් ආණ්ඩුව හදන්නේ ලබන සිකුරාදා පාර්ලිමේන්තුවේ ඡුන්ද විමසලා අගවිනිසුරුතුමිය ඉවත් කරන්න. සඳුදා වෙනකොට අලූත් අගවිනිසුරුවරයෙක් පත්කරන්න. නමුත් මේ රටේ විනිසුරුවරුන්, නීතිඥයින් ඒකට ඉඩදෙන්නේ නැහැ. ලබන සඳුදා වෙනකොට රට පුරා දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කරනවා. අලුත් අගවිනිසුරුට නඩු කියන්න වෙන්නේ නැහැ.

මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ විශාල ප‍්‍රශ්නයක් තිබෙනවා. සියලු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන ඩොසර් කරමින් යන්නේ. මහින්ද රාජපක්ෂ ශිෂ්ඨ සම්පන්න නායකයෙක් නෙවෙයි. රාජපක්ෂට රටේ අනාගතය ගැන කිසිදු හැඟීමක් නැහැ. තමන්ගේ පවුල ගැන පමණයි හිතන්නේ. ඒක තමයි මැදමුලන තියරිය. දැන් හදන්න යන්නේ මැදමුලන ව්‍යවස්ථාවක්. එයට ජනතාව යටත්විය යුතු නැහැ. දැන් අපේ රටේ නීතිය කියන්නේ රාජපක්ෂගේ කැමැත්ත වෙලා. ඉතිං කොහොමද හිට්ලර්ගෙන්, ඉඩි අමීන්ගෙන් වෙනස් වන්නේ. මහින්ද රාජපක්ෂ 2010 හිටපු අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව රකින බවට. නමුත් දැන් ඔහුම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ආණ්ඩුවක්. ඒ විතරක්ද මේක අවජාත පාර්ලිමේන්තුවක්. අවජාත ආණ්ඩුවක්. ලබන සඳුදා සිට රට පාලනය කරන්නේ අවජාත ආණ්ඩුවක්. එනිසා ජනතාව සුජාත පාලනයක් වෙනුවෙන් සටන් කළ යුතුයි.

රාජපක්ෂ පාලන ගිනිඅවිය අතට අරගෙන ගෙන යන පාලනයක් වෙලා. ඩෝසර් කරගෙන යන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගත යුතුයි. මේ ඒකාධිපති වියරුවෙන් කරන පාලනයට එරෙහි අරගලයක් ඕනෑ. දැවැන්ත ශක්තිමත් ජනතා ව්‍යාපාරයක් ගොඩ නගන්න ඕනෑ. මේ අරගලය කෙළවර වෙන්න ඕනෑ එවැනි ව්‍යාපාරයකින්."

ජනාධිපති නීතිඥ ශ‍්‍රීනාත් පෙරේරා මහතා.


"ලෝකයේ පොල්පොට්, හිට්ලර් වගේ ඒකාධිපතියෝ ඉඳලා තියෙනවා. මේ ඒකාධිපතියන් බිහිවීමට හේතුව රටේ සියලූ බලය එක පුද්ගලයෙකු අතට පත්වීමයි. එවිට ජනතාවගේ ජීවත්වීමේ අයිතියත් සීමා වෙලා යනවා. එනිසා ශිෂ්ඨ සම්පන්න රටවල් බලය එක් පුද්ගලයෙකු අතට පත්වීම වැලැක්වීමට විවිධ කි‍්‍රයාමාර්ග අරගෙන තිබෙනවා. අපේ රටේ ව්‍යවස්ථාවෙන් බලතල ආයතන 03කට බෙදලා තියෙනවා. නීති සම්පාදනය කරන ආයතනය ලෙස ව්‍යවසථාදායකය තියෙනවා. නීති කි‍්‍රයාත්මක කරන්නේ විධායකය විසින්. ජනාධිපතිවරයා විවිධ ආයතන පාවිච්චි කරලා එම නීතිය කි‍්‍රයාත්මක වෙනවා. විධායකය ජනතාවගේ අයිතීන් යටපත් කරලා බලය අයුතු ලෙස පාවිච්චි කරනවානම් අධිකරණය මගින් බලය පාවිච්චි කරනවා ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරන්න.

දැන් ලංකාවේ විධායක බලය ජනාධිපතිට ලැබිලා ඉවරයි. වරදාන වරප‍්‍රසාද දීලා තුනෙන් දෙකේ බලය ආණ්ඩුවට ලැබිලා තියෙනවා. විධායකයත්, ව්‍යවසථාදායකයත්, අධිකරණයත් එකතුවෙලා රට පාලනය කළ යුගයක් තිබුණා. දැන් අපට බණ කියන හිටපු අගවිනිසුරුට පිංසිද්ද වෙන්න අධිකරණයත් දේශපාලනීකරණය වුණා. මේ ටිකදවසක පටන් අධිකරණය තේරුම් ගත්තා මේ විදියට ගියොත් ජනතාවගේ අයිතීන් උල්ලංඝනය වෙනවා කියලා. එතැන් පටන් අධිකරණය ස්වාධීනව තීන්දු තීරණ දෙන්න පටන්ගත්තා ජනතාවගේ පැත්තේ ඉඳලා. නඩු ගණනාවකදී ආණ්ඩුවට විරුද්ධව තීන්දු තීරණ රැසක් ලබාදුන්නා.

ඒ අය තීන්දු කළා ශ්‍රේෂ්ඨාධිකරණයේ කොන්ද කඩාදාන්න ඕනෑ කියලා. විනිශ්චයකාරවරුන්ට තමන්ට ඕන විදියට නීතිය කි‍්‍රයාත්මක කරන්න දෙන්න බෑ. වැරද්දක් කරනවානම් විනිසුරුවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන්න පුළුවන්. නමුත් ඒ දෝෂාභියෝගය සාධාරණව විභාග කරන්න ඕනෑ. අපි මේ අරගල කරමින් ඉන්නේ ජනතාවගේ ස්වාධීන අධිකරණයක් වෙනුවෙන්. ශීරාණී බණ්ඩාරනායක මහත්මිය වෙනුවෙන් නෙවෙයි. ආණ්ඩුවට එරෙහිව තීන්දුවක් දුන් පමණින් විනිසුරුවරයෙක් කනෙන් අල්ලලා එළියට දාන්න පුළුවන්ද? කැකිල්ලේ රජතුමා වගේ නඩු අහලා එළියට ඇදලා දාන්න හදනවා. අනෙක් විනිශ්චයකාරවරුන් කට හොල්ලන්න බැරි තැනකට පත්වෙනවා. අධිකරණයත් ආණ්ඩුවට හිතවාදී එක්ක වෙනවා. එනිසා තමයි අපි අරගල කරන්නේ ස්වාධීන විනිසුරු මඩුල්ලක් ගොඩනගා ගන්න.

ඊයේ ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙකු වෙඩි තියලා මරලා දැම්මා. මම සහතික කරලා කියන්නම් ඒ වෙඩික්කාරයන් අත්අඩංගුවට ගන්නේ නැහැ මේ ආණ්ඩුව බලයේ ඉන්නකල්. ලංකාවේ පොලීසියට හැකියාව තියෙනවා ස්වාධීනව කටයුතු කරන්න දුන්නොත් පැය 24 ඇතුළත ඕනෑම අපරාධකාරයෙක් අල්ලන්න. නමුත් බලපුළුවන්කාරයන්ගේ අරක්ෂණය යටතේ වෙඩි තිබ්බොත් පොලීසියට අල්ලන්න හැකියාවක් නැහැ. මේ ආණ්ඩුව යටතේ සමහරුන්ට ලයිසන් ලැබිලා තමන්ට කැමති වෙලාවක ගිහින් කැමති කෙනෙකුට වෙඩි තියලා ඇවිල්ල ගෙදරට වෙලා නිදහසේ ඉන්න. මේ වගේ සමාජ ක‍්‍රමයක් ඇති කරගන්න ඕනෙද? අපි ඉපදෙනකොට ස්වාධීන අධිකරණයක රැකවරණය අපට තිබුණා. ඒ රැුකවරණය අපේ දරුවන්ට ආරක්ෂා කරලා දීලා මැරෙන්නයි අපට ඕනෑ. දැන් ආණ්ඩුවේ ඉන්නවා ව්‍යවස්ථා විශේෂඥයෙක් විමල් වීරවංශ කියලා. ඒක හරියට අන්දයෙක් ඇස්පේන අයට අලියා ගැන විස්තර කියනවා වගේ වැඩක්. ඒ වගේ මිනිස්සු රාජ්‍ය මාධ්‍යවලට ඇවිත් මිනිසුන්ගේ ඔළු හදන්න උත්සාහ කරනවා. අධිකරණයට අපහාස කරමින් ඉන්නවා. මේ තත්වයට එරෙහිව කටයුතු කරන්න ඕනෑ.

මේ කි‍්‍රයාවලියේ ජනාධිපතිවරයා නිතරවෙලා ඉන්නවා. මේ කරන කි‍්‍රයාවලිය අමු අමුවේ වැරදි බව දැනගෙනත් ජනතා අප‍්‍රසාදයක් ඇති වෙන බව දැන දැනත් ඒ කි‍්‍රයාවේ එල්බගෙන ඉන්නවා. දැන්වත් මේ දෝෂාභියෝගය ඉවත් කරගන්න ඕනෑ. ස්වාධීන කමිටුවක් පත් කරලා පරීක්ෂණ පවත්වන්න ඕනෑ. මේ මොට්ට වැඬේ තවදුරටත් කරගෙන යන්න එපා. අධිකරණයේ තීන්දු දෙක පිළිගෙන කටයුතු කරන්න කියලා. අධිකරණයේ ස්වාධීනත්වය අපේක්ෂාවෙන් ඉන්න ජනතාව ගැන හිතලා ඒ තීරණය ගන්න කියලා ඉල්ලනවා. නමුත් ආණ්ඩුව ඒ තත්වයට එයි කියලා අපට පේන්නෙ නැහැ. ජනතාවගෙන් ඉල්ලනවා නැවතත් ඉඩි අමීන් පාලනයක්, පොල්පොට් පාලනයක් ඇතිවෙන්න ඉඩ දෙන්න එපා. ලබන 10 වෙනිද නීතිඥයින් සමග එකතුවී ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, ජනතා විරෝධී, අපේ අයතීන් හූරාකන රජයට එරෙහිව පිටකොන්ද තියෙන මිනිසුන් විදියට අයිතීන් වෙනුවෙන් සටන් වදින්න කියලා. මේ අරගලයට අපි අඩිය තිබ්බේ මරණයට බය නැතුවයි."

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් (ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරයේ සම්බන්ධීකාරක)


"ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස, යුක්තිය පැත්තෙන් ගත්තාම අද විශේෂ දිනයක්. මහින්ද රාජපක්ෂගේ අත්තනෝමතික පාලනය, ඒකාධිපති පාලනය, පවුල් බලය වැඩිකරගන්න ගත් උත්සාහය ව්‍යයර්ථ කරන තීන්දුවක් අධිකරණය විසින් ලබාදී තිබෙනවා. මහින්ද රාජපක්ෂට පමණක් නොව අනාගතයේ බිහිවිය හැකි සියලූ ඒකාධිපතියන්ට අනතුරු අඟවලා තිබෙනවා අධිකරණය සියලූ අසාධාරණයන් වෙනුවෙන් මැදිහත් වෙනවා කියලා.

බැසිල් රාජපක්ෂට දිවිනැගුම පනත හොඳින් හෝ නරකින් සම්මත කරගැනීමේ උවමනාවක් තිබුණා. අධිකරණය ආණ්ඩුවේ මේ උවමනාවන්ට එරෙහිව වන බව රාජපක්ෂ පවුල දැනගෙන සිටියා. ඉන් පස්සේ ආණ්ඩුව කොහොල්ලෑ බබාට ගැහුව්වා. ගහන ගහන එක ඇලෙන්න පටන් ගත්තා. දැන් රාජපක්ෂ පවුලේ අත් කකුල් මුළු සර්වාංගයම කොහොල්ලෑ බබාගේ ඇලවිලා ඉවරයි. රාජපක්ෂ පවුල උත්සාහ කළේ නීතිය බල්ලට දාලා කැලෑ නීතියට අනුව රට පාලනය කරන්නයි. නීතිඥයෝ, විශ්වවිද්‍යාල අචාර්යවරු, කලාකරුවෝ අද මේ එකතු වෙලා ඉන්නේ ජනතාවගේ අයිතිය ආරක්ෂා කරන්න. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා උත්තරීතර වෙන්නේ මේ රටේ ජනතාව කියලා. ජනතා පරමාධිපත්‍ය තමයි උත්තරීතර. එය රකින්න තමයි සියල්ල එකතු වෙලා ඉන්නේ. ඔබ ඔබගේ අයිතිය හොරාකන්න දෙන්න එපා. උතුරේ, දකුණේ, සිංහල, දෙමළ, මුස්ලිම් පුරවැසියන්ගේ අයිතිය ආරක්ෂා කිරීම ඔබ සතු වගකීමක්. මහින්ද රාජපක්ෂ පවුලට අවශ්‍ය විදියට සෙල්ලම් කරන්න දෙන්න එපා. මේ ඉන්නේ ඊට එරෙහිව ඒ වෙනුවෙන් කැපවුණ ජනතාවක්. බැසිල්ගේ දිවි නැගුම පනතට සහාය පලකරන්න ගෙනාපු 500 කෑලි නෙවෙයි. පහුගියදා අගවිනිසුරුවරියට එරෙහිව අලූත්කඬේට ගෙනාවෙත් 500 කෑලි. යුක්තිය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරන ජනතාවක් මෙතන ඉන්නේ. අපි පාර්ලිමේන්තු කාරක සභාව ඇතුළෙත් අරගල කළා. අගවිනිසුරුවරියගේ අයිතිය වෙනුවෙන් පමණක් නොවෙයි. හැමෝගෙන අයිතිය වෙනුවෙන්.

අගවිනිසුරුවරියගේ මානව හිමිකම් ආරක්ෂා කරන්න බැරි ආණ්ඩුවක් ජනතාවගේ මානව අයිතීන් රකින්නේ කොහොමද? මේ සටන ඇරඹුනා පමණයි. සියලූම පක්ෂවල සාමාජිකයින් එකතුකරගෙන මේ විරෝධතාව ඉදිරියට ගෙනයනවා.

වරදාන, වරප‍්‍රසාද දීලා අත්තනෝමතික ලෙස හදාගත් තුනෙන් දෙකේ බලය කි‍්‍රයාත්මක කරලා මේ සියලූ දේ යටකරන්න බැහැ කියලා යනඑන මන් නැති පාලකයන්ට අපි මතක් කර දෙනවා. ලෝකයේ ඒකාධිපතියන්ට මොකද උනේ කියලා කවුරුත් දන්නවා. තුනෙන් දෙකේ බලයට, විධායක බලයට වඩා මහපාරේ ජනතාවගේ බලය ලොකුයි. දැන් ආණ්ඩුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තමයි රටේ මූලික නීතිය. අධිකරණ තීන්දු පිළිගන්නේ නෑ කියන්නේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිගන්නේ නැහැකියන එක. ව්‍යවස්ථාව අර්ථනිරූපනය කරන්න බලය අධිකරණයට තියෙන බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේම සඳහන් වෙනවා. ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ආණ්ඩුව යනු නීති විරෝධී ආණ්ඩුවක්. නීති විරෝධී ආණ්ඩුවක් තවදුරටත් පවත්වාගෙන යන්න ජනතාව ඉඩදිය යුතු නැහැ. ආණ්ඩුව පලවා හැරීමේ තීන්දුව ජනතාව ගන්න ඕනෑ. ජනතාවට කියනවා ඒ බලය අවතක්සේරු කරගන්න එපා කියලා. දැන් අධිකරණයේ තීන්දුව පැහැදිලියි පාර්ලිමේන්තු කමිටු වාර්තාව නීති විරෝධී කියලා. ඉතිං ඒ නීති විරෝධී වාර්තාවක් පාර්ලිමේන්තුවේ විවාද කරන්නේ කොහොමද? පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු එයට එකඟ වන්නේ කොහොමද? ඒකට අත් උස්සන මන්ත‍්‍රීවරු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන පිිරිසක්. ඔවුන්ට එරෙහිව නැවත අධිකරණ කි‍්‍රයාමාර්ග ගන්න පුළුවන්. නීති කඩන්න කාටවත් බෑ. මන්ත‍්‍රීවරුන්ට, ඇමතිවරුන්ට, ජනතාවට කොයි කාටත් බැහැ. ඒ නිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් දීලා තිබෙන අයිතිය ඔබලා පාවිච්චි කරන්න ඕනෑ. එනිසා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පමණක් නොව රටේ යුක්තිය, සාධාරණත්වය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ආරක්ෂා කිරීමට ආරම්භ කළ සටන පෙරට ගෙනියන්න ඕනෑ."

නිර්මාල් රංජිත් දේවසිරි (විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති)


"දෝෂාභියෝගය සම්බන්ධයෙන් විවිධ ආකාරයේ අදහස් මතුවුණා. දැන් මූලික දෙය වෙලා තිබෙන්නේ උත්තරීතර ව්‍යවස්ථාවද, අධිකරණයද, පාර්ලිමේන්තුවද, ජනතාවද කියන කාරණය. නමුත් අපි හිතන විදියට ඇත්ත වශයෙන්ම මතුවෙලා තිබෙන ප‍්‍රශ්නය තමයි කවුරු ළඟද බලය තිබිය යුත්තේ කියන කාරණය. උත්තරීතර කාරණයට වඩා බලය පිළිබඳ ප‍්‍රශ්නයක් මෙතන තිබෙන්නේ. ඇත්ත වශයෙන්ම පහුගිය කාලය තුළ බලය එක් පවුලක් තුළ සංකේන්ද්‍රණය වීමේ ප‍්‍රවණතාවක් තිබෙනවා. අද රාජපක්ෂ පවුලේ බලය වෙනත් සියලූම බල ව්‍යූහයන් යටපත් කරමින් අත්තනෝමතිකව, බයානක ලෙස, ඒකාධිපති ස්වරූපයකින් මතුවෙලා තිබෙනවා. දෝෂාභියෝගය මතුවෙලා තිබෙන්නේ එම බලයට අභියෝග කළ හැකි අවසාන ආයතනය වන අධිකරණය හීලෑ කර ගැනීමටයි. මෙම දෝෂාභියෝග කි‍්‍රයාවලිය සම්බන්ධ කරුණු ද්වීතියික වැදගත්කමක් තමයි තිබෙන්නේ. මූලික දේ තමයි මේ බලය එක් පවුලකට සංකේන්ද්‍රණය වීමේ ප‍්‍රවණතාවයි. පාර්ලිමේන්තුව යනු පවුලේ බලය තිබෙන ඕනෑම තීන්දුවක් භාරගන්නා පිරිසක් මිසක් ස්වාධීන තීරණ ගන්න, ජනතවාගේ මතය අනුව තීරණ ගන්න පිරිසක් නෙවෙයි. අරගලියගහ මන්දිරයෙන් එන නියෝග පිළිගන්නා නිවට නියාලු පිරිසක් බව ජනතාව දන්නවා. එනිසා මේ පාර්ලිමේන්තුව උත්තරීතරයි කියන කෙස් පැලෙන තර්කවලට කිසිදු වැදගත්කමක් නැහැ.

අපිට තෝරාගැනීමට ඇත්තේ පැහැදිලි විකල්ප දෙකක්. එක්කෝ අත්තනෝමතික ලෙස සිදුවන පටු චින්තනයක් සහිතව එක් පවුලකට බලය සංකේනද්‍රණය වීම ඉවසාගෙන සිටිනවාද? නැතිනම් ඊට එරෙහිව අරගල කරනවාද යන්න පමණයි අද කළ යුතුව තිබෙන්නේ. මේක අතිශයින් භයානක ප‍්‍රවණතාවක්. දෝෂාභියෝගය සම්බන්ධ චෝදනාවල කිසිදු පදනමක් නැහැ කියලා හැමෝම දන්නවා. ඒ නිසා ඒ පිළිබඳ වැඩි දෙයක් කිව යුතු නැහැ. මේ මතය සමාජය තුළ තහවුරු කළ යුතුයි.

ඒ වගේම තමයි පහුගිය දවස්වල තිබුණ දෙයක් තමයි ජනතාව වෙනුවෙන් ස්ථාපිත කරලා තිබෙන ආයතන විශාල ප‍්‍රමාණයෙන් අවභාවිතය සිදුකළා. තම තමන්ගේ පුද්ගලික අවශ්‍යතා සඳහා පටු විදියට අවභාවිතා කිරීම කළා. දැනට තිබෙන ක‍්‍රමය ඇතුළේ අවභාවිතය පිළිබඳ අවසන් තීරණය ගන්නේ අධිකරණයයි. අධිකරණයට ඇති විශ්වාසය බිඳවැටෙනවා කියන්නේ අපේ සමාජයේ ශිෂ්ඨාචාරය පිළිබඳ ප‍්‍රශ්නයක්. අද පාලක පවුලට තිබෙන බලය පාවිච්චි කරලා පාර්ලිමේන්තුව කිසිම වැඩකට නැති තැනක් බවට පත්කරලා තිබෙනවා. මර්වින් සිල්වා වැනි චෝදනා සිය දහස් ගණනක් තිබෙන අය තමයි දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේ.

අපේ සමාජයේ කුළුණු බවට පත්වෙලා තිබෙන මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන ජනතාවගේ සුභසිද්ධිය ඇති කිරීම සඳහා ඉතාම සුළු පිරිසකගේ හෙන්චයියන්ගේ උවමනාවට අවභාවිතයට ඉඩ දෙනවාද? නැත්නම් නැවත ශිෂ්ඨ සම්පන්න ආණ්ඩුකරණයක් සඳහා, පාලනයක් සඳහා පෙරලා සටන් කරනවාද යන්න පමණයි තෝරාගැනීමට ඇත්තේ. අපේ වගකීම තමයි මේ පණිවිඩය සමාජය තුළට ගෙන යනඑක. මේ තීන්දුව ගත්තේ නැත්නම් අපේ සමාජය නැවත වතාවක් ආපස්සට යනවා. මේ අභියෝගය සඳහා දැඩි කැපවීමකින් යොමු වෙන්න ඕනෑ."





ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය සංවිධානය කළ පා ගමන හා රැළියට නීතීඥවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීය සමිති නායකයින්, මාධ්‍ය සංවිධාන නියෝජිතයින්, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගීවී සිටියහ

Gossip Lanka Hot News Previous News Archive