ලංකාවේ මවුවරු, සහෝදරියන් හා දියණියන් ගෘහ සේවය සඳහා විදේශගත කිරීම ගැන ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් කනාගාටු වෙනවා. දියුණු බෘනායි, ස්විට්සර්ලන්තය, කැනඩාව, ප්‍රංශය වැනි රටවල් මෙන්ම තෙල් සම්පතට හිමිකම් කියන රටවලත් තමුන්ගේ රටේ මාතෘත්වය විදේශ ගතකර මුදල් උපයා ගන්නේ නැහැ. නමුත් අපේ රටේ දුප්පත්කම නිසා කාන්තාවන් තවමත් විදේශගත වෙනවා.අවුරුදු 60කට 70කට පෙර ගෝත්‍රික පාලනයක් තිබුණු, දුක්විඳි ජනතාවක් සිටි සෞදියට තෙල් සම්පත ලැබිමත් සමග එතෙක් කාන්තාරවල දුක් වින්ද ඔවුන්ගේ අතට පයට වැඩකාරයින් අවශ්‍ය වුණා.
ඔවුන්ගේ බැලමෙහෙවර කිරීමට පෙරදිග රටවලින් කාන්තාවන් ගෙන්වා ගැනීමේ කුහක අදහසට මැදිි වුණේ අසරණ ආසියාතික රටවල්. ඉන්දුනීසියාව, පිලිපීනය, නේපාලය, බංගලාදේශය, පකිස්තානය, නේපාලය, ලංකාව වැනි රටවල් තමන්ගේ රටේ මාතෘත්වය මුදලට පාවා දෙමින් හොර පාස්‍පෝට් මගින් රට යැවීම සිදු කළා.
රිසානා කියන පාසල් සිසුවියට මුහුණ දීමට සිදු වුණෙත් එහි විපාකයකට. 1988 වසරේ ඉපදුණු ඇය 1982 වසරේ ඉපදුණු තැනැත්තියක් බවට පත්කළා. නබිනායකතුමා දේශනා කළ ෂරියා නීතිය නොවන විකෘති ෂරියා නීතියක් තිබෙන රටවලට යන අපේ කාන්තාවන් ඒ රටවල භාෂාව, නීතිරීති, පිළිබඳව තිබෙන නොදැනුවත්කම නිසා අසරණ වෙනවා.
ශුද්ධ ෂරියා නීතියට අනුව නබිනායකතුමා පවසා තිබෙන්නේ ‘වහලාගේ සිරුරේ දහදිය වේලෙන්නට පෙර වැටුප් ගෙවිය යුතු’ බවයි. ඒ වගේම ‘මවක් තම දරුවාට අවුරුදු 2ක් පිරෙනතුරු දරුවා කිසිවකු භාරයට පත් නොකර මව්කිරෙන් පෝෂණය කළ යුතුයි’ අහිංසක රිසානා පාසල් සිසුවියට මාස 1 1/2ක් වුණු දරුවා දිලා ඒ මව ෂොපින් ගියා.
කටුනායක ගුවන් තොටුපළට වෙලා හිටියොත් අපිට දැක ගන්න පුළුවන් අපේ කාන්තාවන්ගේ මළ සිරුරු ලංකාවට එන ආකාරය. මෙය සැබැවින්ම ශෝකජනක තත්ත්වයක්.
නබිනායකතුමා රජවරු කුමාරයෝ ගැන දේශනා කර නැහැ. සියලු දෙනා එක සමාන බව පෙන්වා දී තිබෙනවා. ෂරියා නීතිය අනුව මරණ දඬුවම දිය හැකි වැරදි 4ක් තිබෙනවා. ස්ත්‍රී දූෂණය, මනුෂ්‍ය ඝාතනය, සන්නද්ධ සොරකම, ඉස්ලාම් ධර්මයට එරෙහිව කටයුතු කිරීම, ඒ වගේම වරදකට සමාව දිය හැකිනම් මෝක්ෂ රාජ්‍යයකට යා හැකි පහසුම මාර්ගය එය බවත් කියා තිබෙනවා. නමුත් අද තිබෙන්නේ තමන්ගේ වාසියට ෂරියා නීතිය විකෘති කර ගැනීමක්.
විදේශ ගත ශ්‍රමිකයන්ගෙන් රජය ලබන ආදායම ඩොලර් බිලියන 6ක් බවත් එය ඉදිරි වසරේදී ඩොලර් බිලියන 10ක් කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිතුමා අයවැය කතාවේදී කිව්වා. අපේ කාන්තාවන්ගේ බෙලි කැපුවත්, කසපහර දුන්නත්, ලිංගික අඩන් තේට්ටම් කළත් විදේශ විනිමය ගැනම පමණක් සිතා තව තවත් කාන්තාවන් විදේශ ගත කරන බවයි මේ කියා තිබෙන්නේ.
විදේශ ගත වන කාන්තාවට අපේ රජයෙන් නිවැරැදි සුබසාධනයක් ලැබෙනවා කියන්න බැහැ. අපි ඔවුන්ගේ ගෞරවය හා සුරක්ෂිත භාවය ගැන සිතීම අවශ්‍යයි. පූර්ණ අසුබවාදී ලෙස කාන්තාව විදේශගත කිරීම අත්හිටුවිය යුතු බව කියන්නේ නැහැ. කැනඩාව, යුරෝපය, ඇමෙරිකාව, ස්විස්ට්සර්ලන්තයේ ජීවත් වන විදේශගත ශ්‍රමිකයෝ පවුල් ජීවිත යහපත්ව පවත්වා ගනිමින් ඉතා හොඳින් ජීවත් වෙනවා.
ෂරියා නීතිය සහිත රටවල සේවයට යන ශ්‍රමිකයාගේ ජිවිත සුරක්ෂිත නැහැ. මැද පෙරදිග ෂරියා නීතිය සහිත රටවල සේවයට යන කාන්තාවන් එම රටවල පවතින නීතිය සම්බන්ධයෙන්, භාෂාව සම්බන්ධයෙන් දැනුවත් කළ යුතුයි. විශේෂයෙන් පුහුණු සමූහ වශයෙන් රාජකාරි කළ හැකි තැන්වලට ඔවුන් යොමු කළ යුතුයි.
රිසානාගේ ප්‍රශ්නයේදී රජය දරුණු ලෙස ඇයව මඟ හැරියා. සෞදි උසාවිය රිසානාට එරෙහිව කටයුතු කළේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ගමන් බලපත්‍රයේ සඳහන් වයසට අනුවයි. රජය එය බොරුවක් බව ඔප්පු කළේ නැහැ. සමාව ඉල්ලීම පමණයි රජය සිදු කළේ. සෞදි රජය ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අත්සන් තබා තිබෙන නිසා ළමා වියේ පසුවන අයෙක්ට මරණ දඬුවම ලබා දිය නොහැකියි. ඉන්දියාවේ නිර්භයා කියන යුවතිය දූෂණය කර මරා දැමුණු තරුණයන් අතර 17 හැවිරිදි අයෙක් සිටිනවා. ඉන්දියාවත් එම ප්‍රඥප්තියට අත්සන් කර තිබිම නිසා 17 හැවිරිදි ළමයාට මරණ දඬුවම නියම කළ නොහැකිව සිටිනවා.
රිසානාගේ මව්පියන් විවාහ වුණේ 1987. රිසානා උපත ලබන්නේ 1988. ඔවුන්ගේ විවාහ සහතිකය ඇතුළු ලියකියවිලි රැගෙන සෞදියට යන්න මට අවස්ථාව ලබා දුන්නේ නැහැ. මගේ වීසා කැන්සල් කළා. රිසානා වෙනුවෙන් සැබෑ ලෙස පෙනී සිටියා නම් අද ඇය ජීවතුන් අතර සිටිනවා.
කාන්තාවන් විදේශගත කරවීම මගින් මුදල් සොයන තැරැව්කරුවන් හා විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන් මෙරට නීතිවල තත්ත්වය දන්න නිසා ඕනම දෙයක් කරලා බේරෙන්න පුළුවන් බව දන්නවා. රිසානා 2005 විදේශගත කළ තැරැව්කරුවන් වූ ඔමාර් ට්‍රැවල්ස් අසාදු ලේඛනගත කරන්න ආණ්ඩුවට අවුරුදු 6ක කාලයක් ගත වුණා.
ශ්‍රමිකයින් විදේශ ගත වීමේ වයස් සීමා සඳහන් කිරීම මේ ප්‍රශ්නයට විසඳුමක් නොවෙයි. කුරිරු ආශාවන්වලට සහ තාඩනපීඩන වලට කාන්තාවන් ගොදුරු වීමේදී වයස බලපාන්නේ නැහැ.
ආසියාතික දූ දරුවන් මව්පියන්ගේ තුරුලේ හැදෙන බව අපි දන්නවා. අපි හැදුනේ වැඩුනෙත් මව්පිය තුරුලේ. අම්මලා තරුණ දූවරු දමා රට යන විට සල්ළාලයෝ අහිංසක දරුවෝ ගොදුරු කර ගන්නවා.සමහර පියවරු විසින්ම දරුවෝ ගොදුරු කරගන්න බව අපි දැකලා තියනවා. පවුල් දෙදරනවා. මේ දේවල් දැක දැකත් ආණ්ඩුව තව තවත් කාන්තාවන් විදේශ ගත වීමට අවශ්‍ය සුදුසු පරිසරය ඇති කරනවා.
සාමාන්‍යයෙන් ඉන්දියාවේ පිරිමි තම කාන්තාවන් මැද පෙරදිගට විකුණන්නේනැහැ. නමුත් ලංකාවේ පිරිමි කම්මැලියි. තම බිරිඳ උකස් කර හෝ මුදල් සොයන්න උත්සාහ කරනවා. මේ ප්‍රශ්නයේදී අපේ පිරිමිපක්ෂය මීට වඩා දැනුවත් විය යුතුයි.