සංගීතා වීරරත්න එක් යුගයක දී සිනමා ප්‍රේක්ෂකයන්ට නිතර දැක ගැනීමට ලැබුණු රංගන ශිල්පිනියක්. විවාහවීමත්, දියණිය ලැබිමත් සමග ඇය ක්ෂේත්රයෙන් මඳක් ඈත් වී සිටියා. තව දුරටත් රංගනයෙන් ඈත්ව සිටින්නට සංගීතා බලාපොරොත්තු වන්නේද?
ඔබ පසුගිය කාලයේ රංගන ශිල්පිනියක් ලෙස නිර්මාණ සමග එක් වුණේ නැහැ. මේ නිහැඩියාවට හේතුව මොකක්ද? ඔබ රංගන ජීවිතයට සමුදීලාද?
මම රංගනයෙන් තවම සමුඅරන් නැහැ.
මම කමල් එක්ක රංගනයෙන් එක් වුණු “දෝණි” චිත්‍රපටය පෙබරවාරි, මාර්තු මාසවලදී ප්‍රේක්ෂකයන්ට නරඹන්න අවස්ථාව ලැබේවි. දුව ලැබෙන්න හිටි කාලේ වගේම දුව ලැබිලා අවුරුදු එක හමාරක් විතර කාලයක් යන තුරුත් මම නිර්මාණ එක්ක එක් වුණේ නැහැ. මම “හීරෝ නීරෝ” චිත්‍රපටයට රංගනයෙන් පසුගිය දවස්වල දායක වුණා. ටික කාලයක් විවේක අරගෙන ආයෙත් පොඩ්ඩ පොඩ්ඩ නිර්මාණවලට දායක වෙන්න පටන් ගෙනයි තියෙන්නේ.
ඔබ චිත්‍රපටවල රඟපෑ කාලයේ දී කමල් හා ඔබ අතිශය ජනප්‍රිය යුවළක් බවට පත් වුණා. ඒ කාලයෙන් පසු සිනමාවේ එවැනි ජනප්‍රිය යුවළක් බිහි වුණේ නැහැ. ඒකට හේතුව මොකක්ද?
මේ වෙද්දී ප්‍රේක්ෂකයන් චිත්‍රපටවලට දැක් වූ ආකර්ෂණය අඩුවෙලා කියන දේ පේනවා. චිත්‍රපටවල අය ජනප්‍රිය නොවුණට ටෙලි නාට්‍යවල නළු නිළියෝ ඒ විදියට ජනප්‍රිය වුණා. එක් එක් නළු නිළියන් යුගයේ තාරකාවන් බවට පත්කිරීම සිදුකරන්නේ ප්‍රේක්ෂකයන්. ප්‍රේක්ෂකයන් නිර්මාණවලින් ඈත් වෙද්දී තරු නිර්මාණය වෙන්නේ නැහැ.
දෝණි චිත්‍රපටයේ ඔබ රඟපාන චරිතය මොන වගේද?
මටත් කමල්ටත් දුවක් ඉන්නවා. ඒ දරුවා ටිකක් වෙනස් විදියේ දරුවෙක්. ඒ වටා ගෙතුණ කතාවක් තමයි දෝණි කියන්නේ.
සංගීතා දැන් චිත්‍රපට ක්ෂේත්රයේ ඔබට නිර්මාණ සඳහා ආරාධනා නොලැබෙන්න ඔබේ වයසත් බලපානවා ඇති නේද?
එහෙම වෙන්නත් පුළුවන්. අලුත් ළමයි ක්ෂේත්රයට එද්දී ඒ අය කරන දේවල් අපට කරන්න බැහැ. මේ වෙද්දී නිර්මාණය වෙන්නේ අඩු වියදමින් කෙරෙන චිත්‍රපට. ක්ෂේත්රයට කාලයක් හිටිය මගේ අය කිරීම් වෙනස්. අපි නිර්මාණවලට අරගෙන අඩු වියදමින් නිර්මාණ බිහි කරන්න බැහැ.
චිත්‍රපට අධ්යක්ෂණයට යොමු වෙන්න ඔබට අදහසක් තියෙනවද?
චිත්‍රපට අධ්යක්ෂණයට යොමු වෙන්න නම් මගේ අදහසක් නැහැ. මම කරන්නෙ මට හරියටම කරන්න පුළුවන් දේ විතරයි. අධ්‍යක්ෂණය වෙනුවෙන් සීයට සීයක් කැපවීමේ හැකියාවක් මට නැහැ. ඒ නිසා මම චිත්‍රපට අධ්යක්ෂණයට අත ගහන්නේ නැහැ. චිත්‍රපට නිෂ්පාදනයට නම් දායකත්වය දෙන්න කැමැතියි.
මේ දිනවල චිත්‍රපට නිෂ්පාදනය වෙනුවෙන් දායක වෙන්න සූදානමක් තියෙනවද?
ඔව්. සූදානමක් තියෙනවා. නමුත් ඒ චිත්‍රපටය ගැන දැන්ම කතා කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. මම නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙන්නේ ජීවතුන් අතර ඉන්න චරිතයක් ගැන. ඒ චිත්‍රපටය කරන්න තවමත් සියලු දෙනාගෙන්ම මට අනුමැතිය ලැබිලා නැහැ. අනුමැතිය ලැබුණට පස්සේ චිත්‍රපටය ගැන කතා කරමු.
දෝණි චිත්‍රපටයට දායකත්වය දැක්වූවේ අවුරුදු දෙකකට වැඩි කාලයක් රඟ නොපා ඉඳලා. අලුත් නිර්මාණය කරද්දී වෙනසක් දැනුණද?
අනේ නැහැ. රඟපෑම කියන්නේ මට හොඳට කරලා පුරුදු දෙයක්. ඒ නිසා වෙනස් හැඟීමක් දැනුණේ නැහැ. නමුත් හැම නිර්මාණයක්ම පටන් ගනිද්දී දැනෙන බය මට මේ චිත්‍රපටය කරද්දිත් ආයේ දැනුණා.
ඒ කියන්නේ.....
ඕනම චිත්‍රපටයක් රූගත කිරීම් ඇරඹෙද්දී මගේ හිතට බයක් දැනෙනවා. මම සිනමාවට ඇවිත් අවුරුදු 22ක් වෙනවා. චිත්‍රපට 50කට අධික ප්‍රමාණයක රඟපාලා තියෙනවා. චිත්‍රපට පනහක ප්‍රධාන චරිත රඟපාලා තියෙනවා. ඒත් මෙම හැම නිර්මාණයක්ම කරන්න පටන් ගනිද්දී පුංචි බයක් දැනෙවා. මට හරියට රඟපාන්න පුළුවන් වේවිද රඟපාන එක හරියාවිද කියලා බය හිතෙනවා. ඒ හැම දර්ශනයක්ම රූගත කරද්දී මට දැනෙනවා. පළවෙනි චිත්‍රපටය රූගත කිරීමේදී දැනුණ බය අද වෙනතුරු අඩුවෙලා නැහැ. පළවෙනි දවසේ දැනුණ හද ගැස්ම මට දෝණි චිත්‍රපටය රඟපාද්දීත් දැනුණා. ඒ බය මගේ ජීවිතයේ හැමදාමත් තියෙනවා.
ඔබ නර්තනයටත් දක්ෂ කෙනෙක් ඔබේ රංගන හැකියාවන් දැක්කට නර්තන හැකියාවන් ඒ හැටියට ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබුණේ නැහැ.
නර්තනයට අදාළ චිත්‍රපට කළොත් විතරයිනේ අපට රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ වගේ චිත්‍රපට මගේ වෘත්තීය ජීවිතයේ දී මට ලැබිලා නැහැ. මම බැලේ නර්තනය හදාරලා තියෙනවා. ඒ නර්තන හැකියාවන් නිර්මාණවලට දායක කරගන්න බැරි වුණා. ඒ වුණත් අවුරුදු හතරේ ඉඳලා නර්තන හැදෑරීම නිසා මගේ පෞද්ගලික ජීවිතයට වගේම වෘත්තීය ජීවිතයටත් බොහෝ දේ ලැබුණා. හික්මීම, නිර්මාණශීලී බව වගේ දේවල් මගේ ජීවිතයට හුරු කළේ නර්තනයයි.
නර්තනාංග තියෙන චිත්‍රපටයක රඟපාන්න දැන් අවස්ථාව ලැබුණොත්?
අනිවාර්යෙන් කරන්න පුළුවන්. නර්තනය කියන්නේ මගේ ඇඟේ තියෙන දෙයක්. මට තාමත් හොඳට නර්තනයේ යෙදෙන්න පුළුවන්.
අපි ඔබේ පුංචි දියණිය ගැන කතා කරමු.
දුවගේ වයස අවුරුදු දෙකයි මාස දහයයි. එයා දැන් කතා කරනවා. පුංචි පුංචි ඉඟි බිඟි පානවා. එයා එක්ක ගෙවෙන දවස් හරිම සුන්දරයි. එයාගෙන් වෙන්වෙලා ගෙදරින් යන්නත් දුකයි. ඇත්තෙන්ම කාන්තාවක් හැටියට ලබන්න පුළුවන් සුන්දරම අත්දැකීම මම විඳින්නේ මගේ දුව නිසා. දරුවෙක් ලැබිම හා දරුවෙක් එක්ක ගෙවන ජීවිතය කාන්තාවකට ලබන්න පුළුවන් සුන්දරම අත්දැකීමක්. මම මගේ ජීවිතයේ උපරිම සතුට විඳින්නේ මේ කාලේ.
රංගන ශිල්පිනියක් හැටියට ඔබේ ගමනට තාත්තාගෙන් විශාල සහයෝගයක් ලැබෙන්න ඇති.
තාත්තාගෙන් මට රංගන ශිල්පිනියක් හැටියට ක්ෂේත්රයේ රැඳී ඉන්නේ කොහොමද කියන අවවාද ලැබුණා. ඒ නිසා තමයි මට අදටත් ක්ෂේත්රයේ ඔළුව කෙලින් තියාගෙන ඉන්න පුළුවන්. මම ක්ෂේත්රයට ආවේ අවුරුදු 16 න්. එදා ඉඳලා අද වෙනකන් මම රංගන ක්ෂේත්රයේ ඉන්නවා. මේ තරම් කාලයක් ක්ෂේත්රයේ ඉඳීම ලේසි නැහැ. අපිව නැති වෙන්න ඕන තරම් අවස්ථා තියෙනවා. එක්කෝ අපි කර්මාන්තයෙන් විසි වෙනවා. එහෙම නැත්නම් අපේ අනන්‍යතාවය විනාශ වෙන්න තිබුණා. තවත් සමහර අය වැරදි මාවත්වල යනවා. මම ඒ විදියට නැතිවෙන්නේ නැතිව මේ තරම් දුර ගමනක් ආවේ හොඳ දෙමාපියන් හිටිය නිසා. ඒ අයගේ අවවාද නිසා. ඒ වගේම අම්මා තාත්තා කියන දේ මම ඇහුව නිසා. දෙමාපියන්ගේ උපදෙස් පිළිගැනීම මගේ ජීවිතයේ සාර්ථකත්වයට හේතුවක්.
අද ක්ෂේත්රයේ ඇතැම් රංගන ශිල්පීන් වැරදි මාර්ගවල යවන්නේ ඒ අයගේ දෙමාපියන් නේද? විශේෂයෙන් අම්මලා
දරුවෝ හැදුවා කියලා ඒ අයට ‘අම්මා’ කියන උතුම් වචනයෙන් කතා කරන්න බැහැ. අම්මා කියන්නේ දරුවෝ වදන අයට නෙමේ. දරුවෝ හොඳට හදන දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටුකරන අයට. ඉතින් ඒ වගේ අම්මා කියන වචනයට ඔබින්නේ නැති අය දරුවෝ වැරදි මාර්ගවල යවනවා ඇති. හැබැයි හැමෝම නෙවේ. මම හොඳ දෙමාපියෝ ලබන්න වාසනාව ලබපු කෙනෙක්.
ඔබ ජාත්‍යන්තර තරගවලට රෑ රැජිනියක් ලංකාවෙන් යැවීම සඳහා කටයුතු සංවිධානය කරන කෙනෙක්. ඒ වගේ තරග සඳහා ඉදිරිපත් වෙන අයට ඔබට දෙන්න තියෙන අවවාදය කුමක්ද?
ලොව පුරා ඉන්න සුරූපිනියන් සහභාගි වෙන තරගයකට ඉදිරිපත් වෙන තරුණියකට අනිවාර්යයෙන් හොඳ ආත්ම ශක්තියක් තියෙන්න ඕන. ලංකාවේ තරගයකට ඉදිරිපත් වෙද්දීමට වඩා විශාල ආත්ම ශක්තියක් ලොව පුරා රූමතියන් එක්ක තරගයකට ඉදිරිපත් වෙද්දී තියෙන්න ඕන. ඒක හදාගන්න ලේසි නැහැ. භාෂා හැකියාව, හොඳ හැසිරීම , රට පිළිබඳ දැනුම වගේ දේවල් අනිවාර්යයෙන් තියෙන්න ඕන. රෝසි සේනානායක කියන්නේ රූපය විතරක් තියන කෙනෙක් නෙවේ. ඕනම තැනක ගිහින් හොඳට හැසිරෙන්න පුළුවන් කෙනෙක්. එහෙම කෙනෙක් තමයි ජාත්‍යන්තර තරගයකට ඉදිරිපත් වෙන්න ඕනෑ. තරගයකට ගිහින් විනෝද වෙන්න යන තරගකරුවෝ අපට අවශ්‍ය නැහැ. උසයි ලස්සනයි තිබුණට ජාත්‍යන්තර තරගයකට ඉදිරිපත් වෙන්න බැහැ.
අවුරුදු කුමාරියන් ඉන්න මානසිකත්වයෙන් ජාත්‍යන්තර තරගවලට ඉදිරිපත් වෙලා වැඩක් නැහැ. මම එහෙම කිව්වහම මට මිනිස්සු එක එක දේ කියාවි. ඒකට කමක් නැහැ.
මටයි ෂෙරීන් කුමාරතුංගටයි ඕන හොඳම දක්ෂයින් ලෝකයට හඳුන්වා දෙන්න. අපේ එකම සිහිනය සුන්දරම කාන්තාවන් මේ රටේ ඉන්න බව ලෝකයට පෙන්වීමයි. ඒක ලෙහෙසි පහසු කටයුත්තක් නෙවේ.
උපුටා
ගැනීම - ලක්බිම පුවත්