මෙයට වසර දශක හත අටකට උඩදී එක් සිංහල මාතාවකට දරුවන් හත්අට දෙනකු බිහි කිරීමේ පුළුවන් කමක් විය. ‘පුංචි පවුල රත්තරන්’ යන මන්ත්‍රය ජප කරන්නට වූ දා සිටම එක් සිංහල මාතාවකට උපරිම වශයෙන් දරුවන් දෙදෙනකුට වඩා ඉපැදවීමේ ශක්‌තිය නැතිව ගියේය. ස්‌වාභාවික උත්පත්තිය වෙනස් කර මවගේ බඩ කපාගෙන දරුවන් ලබා ගැනීමට සිංහල මවුවරු නැඹුරු වූහ.
බටහිර වෛද්‍යවරයාත් මේ අපරාධයට සෘජුවම දායක වී ඇති බව පෙනේ. මනුෂ්‍ය ස්‌ත්‍රිය හැරුණු විට සකල සත්ත්ව ලෝකයේම ස්‌වාභාවික ලෙස පැටවුන් බිහි කරද්දී සිංහල මවුවරුන් පමණක් සැත්කම් මගින් දරුවන් බිහි කිරීමට උනන්දු වන බවක් ද පෙනේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7-CiVQnCNMXKSGWk4bZnHKUdw9pTi_nmAFGFaXBEiFMpd6LBNfu5J4y-SbC0mL-AENEPpgP6z1FXreEq3JvDooSdTM4liq71j_34tcHNICf1tQ96YteA76i_86G6YZGYKukqDa0Xm4Ug/s1600/images.jpg)
එහෙත් මහ ජාතිය වශයෙන් අභිමානවත්ව කැපී පෙනෙන තත්ත්වයක පැවැති සිංහල ජනගහනය මෙසේ අඩු වෙමින් පවතිද්දී මේ රටේ සුළු ජාතික පිරිස වැඩි වැඩියෙන් ඔවුන්ගේ ජනගහනය වැඩි කරති.
කොළඹ සිංහල ජනගහනය සියයට 24 ක් බව ඉකුත් දිනක පුවත්පතක පළවිය. තවත් වසර දශකයක් පමණ ඉක්‌ම යැමෙන් පසු ඒ පුවතම ශ්‍රී ලංකාවේ සිංහල ජනගහනය සියයට 24 ක් බවට වාර්තා පළවන්නට ඉඩ තිබේ.
ජාතිය කුඩා වීම පිළිබඳව වේදනාවෙන් කෑ ගැසූ ගංගොඩවිල සෝම හිමියනට ජීවිතයත් අහිමි විය. දොස්‌තර බිබිලේ මහතාගේ ඉරණම ගැනත් කිව යුත්තේ එයමය. ජාතිය ගැන පුන පුනා පුවත්පත්වලට ලිපි සැපයු මහාචාර්යවරයකුට ද සරසවියෙන් එළියට බසින්නට සිදු විය.
ඒ නිසාදෝ ජාතිය පුංචි වීම ගැන හාමුදුරුවරු කතා නොකරති. දානයේ ආනිශංසය ගැන කතා කරනවාට වඩා පිරිහෙමින් පවතින සිංහල ජාතිය ගැන කතා කළ යුතු යුගය එළඹ ඇතැයි සිතමි. තුන්වැනි හතරවැනි දරුවා බිහි කරන මවු කෙනෙකුට සංස්‌කෘතික අමාත්‍යාංශයෙන් අභිමානවත් සම්මානයක් දීමේ යුතුකමක් ඇත. රජය ද එවන් මවකට සැලකිය යුතු පරිත්‍යාගයක් කිරීමට උනන්දු වන්නේ නම් ඒ මහත් භාග්‍යයකි. සැත්කම් සඳහා අනුබල දෙන බටහිර වෛද්‍යවරයා එය මුදල් ලැබෙන ව්‍යාපාරයක් බවට හරවා නොගෙන ස්‌වාභාවික ලෙස දරුවන් ලබා දිය හැකි වෛද්‍ය ක්‍රම කෙරෙහි සලකා බලන්නේ නම් එය නිවන් දැකීමට තරම් ප්‍රමාණවත් පුණ්‍ය කර්මයක් වනු ඇත.
විවාහ විය යුතු වයසේ සිටින තරුණ තරුණියන් භාවනාවට යොමු කර විවාහ නොවන්නට වක් මගින් මං පෙත් ඉදිකරන ආගමික නායකයන් ගැන ද අසන්නට ලැබේ. එතැන ඇත්තේ විමුක්‌තියට මඟ පෙන්වීමක් නොව සිංහල ජනගහනය අඩු කිරීමට යෙදූ කුමන්ත්‍රණකාරී උපායක් විය හැකිය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjf6FCLnlCW5q8WiNkMyaA4Zcc2p8ypYLGgtkQad54beJ1ZRbfIt9WivfkdNdZUXZfnKGO1EHHLcw2BTHv00NGdD_-lwFma94m61m-akq1JkWCuI3syAWjsb8dj9tXU_YHgom_wNbip5MA/s1600/images+%25283%2529.jpg)
ඉංග්‍රීසි ජාතික කුක් මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ භූගෝලය නමැති පොත ලියන්නට පෙර වදන ආරම්භ කරමින් අපූරු වැකියක් ලියා තිබේ. ගොටුකොළ පඳුරක්‌වත් වවන්නට දහඩිය බිඳුවක් නොසොල්වන ශරීර ශක්‌තියෙන් යුතු තරුණ පිරිසක් ගොවියා නිෂ්පාදනය කරනු ලබන දෙය වළඳමින් සිටිති. ඒ පුළුවන්කම ලැබී ඇත්තේ මේ සිංහල පොළොවේ ඇති සාරවත් බව නිසා යෑයි එහි සටහන්ව ඇත. එම මහත්මිය එම වැකිය තම පොතේ පෙර වදනට ඇතුළු කළේ භික්‍ෂු පිරිසට අවමන් කිරීම සඳහා නොව සිංහල පොළොවේ සාරවත් බව කීමට නිදසුනක් සඳහා ය. මා ඒ පුවත මෙහිලා සඳහන් කළේත් ගරු හිමිසඳුනට මදි පුංචිකමක් කිරීමේ අදහසින් නොවේ. ජාතිය සංවර්ධනය කිරීමට එයත් යම් පමණක බාධාවක් බව සඳහන් කිරීමටය.
ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය මවු බසින් නොව ඉංග්‍රීසියෙන් ම ලබා දීම නිසා අනාගත දරුවන්ගෙන් කොටසකට මවු බස අහිමි වෙමින් පවතී. මවුබස අනිවාර්යයෙන් උගත යුතු බසක් බවට නීති සම්මත කර ගැනීමට රජය උනන්දු වන්නේ නම් අවහිරය වළකා ගත හැකිය. තවත් අවුරුදු ගණනක ඇවෑමෙන් අප ලියන මේ සිංහල පොත් කියෑවිය හැකි කෙනෙක් මිහිපිට දක්‌නට නොලැබෙනු ඇත. ඇස්‌කිමෝවරුන්ට අත් වූ ඉරණම සිංහල ජාතියට ද උරුම වන දිනය අත ළඟය. එසේම ඈත ඈත අතීතයේ සිට අපේ මුතුන්මිත්තන් ලියූ පත පොත කෞතුකාගාරවල හිරකරුවන් බවට පත්වන අතර සිංහල භාෂාව ද මළ බසක් බවට පත්වනු වැළැක්‌විය නොහැකි වනු ඇත.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgP2m-4Gko5Ng_8ab9RWexx1jBoGLW7G7g-ZSblhXkCAsjS9_A4lF6Reg_84mNTYdkplZ1rGxjEHzupmRP2ufaTsrFcF6hDc8t6cTPeM1JFic3BzdvOVawVc7Shfh35Zb1KzK9ZOd0FC4g/s1600/images+%25282%2529.jpg)
වාචික ව්‍යවහාරයේදී කතා කරන වචනවලින් වැඩි ප්‍රමාණයක් තත්සම පද වීම හෙවත් ඉංග්‍රීසි වදන් භාවිතයට ගැනීම නිසා හෙළ බසේ පවිත්‍රතාව හෙවත් ආටෝපය කිළිටි වෙමින් පවතී. මවු බසට ආදරය කරන්නේ නම් හුදු සිංහල වදන්ම ප්‍රමුඛ කර කතා කිරීමේ නැඹුරුවක් වැඩි දෙනෙකු කෙරෙහි නැත. සැමියාට හස්‌බන්ඩ්, බිරිඳට වයිෆ් ආදී වශයෙන් කෙරෙන පරබස් මිශ්‍රණය නිසාත් සිංහලයට හානියක් වී ඇත.
සිංහලයන් සිය දෙනකුගේ අත්සන් පරීක්‍ෂාවට යොමු කළොත් සියයට 80 ක් පමණ අත්සන් මවුබසේ අකුරින් නොවන බවක් පෙනෙයි. තැපෑලට යොමු කරන ලිපියක ලිපිනය පවා මවුබසින් නොලියා පර බසින් ලියන තරමට සිංහලයා අසිංහල වී ඇත. ලිපිය ලියන්නාත්, ලිපිය ලබන්නාත් ලිsපිය බෙදාහරින්නාත් යන තිදෙනාම සිංහලයන් වෙතත් ලිපිනය පර බසින් ලියන්නේ නම් හෙතෙම මවු බසට හානි කරන්නෙකි. ඉංග්‍රීසි බස ලෝක ව්‍යාප්ත බසක් හෙයින් එය අනිවාර්යයෙන් ම උගත යුතුය. එහෙත් මවුබස මරාගෙන කටයුතු කිරීම දීන කමකි. පැරැණි අධ්‍යාපන ක්‍රමයේදී පුහුණුව ලබන ගුරුවරයාට ගුරු තිසරණයක් විය. මම සිංහලයෙක්‌මි. බෞද්ධයෙක්‌මි. ගුරුවරයෙක්‌මි යන පාඨය හැම විටෙකම මුඛ්‍ය පාඨයක් සේ සලකා කටයුතු කිරීමට දිවුරුම් දීමක් වන ඒ තත්ත්වය අද නැත. බොහෝ විට ගුරුවරුන්ගෙන් වැඩි සංඛ්‍යාවක් තමා ගුරුවරයකු බවවත් අමතක කරති.
වත්මන් තරුණ පරපුර විනාශ මුඛයට ඇදගෙන යනු ලබන බලවේග රාශියකි. මත්කුඩු භාවිතයට බොහෝ දෙනෙක් ගොදුරුව සිටිති. ඔවුන්ගේ මනස එමගින් විනාශ කළ විට ජීවිතයේ එකම අරමුණ කුඩු පැකැට්‌ටුවකට අවශ්‍ය මුදල සොයා ගැනීම පමණි. ඒ සඳහා ඕනෑම අපරාධයක් කරයි. හොර මැරකම් කරයි. සමහර විට ජීවිත හානි කරන බවට ද වාර්තා ලැබේ. මේ නිසාත් සිංහල ජාතිය පරිහානියට යයි. රටේ ජනගහනයෙන් කොටසක් අවුරුදු පතා විදෙස් රටක පදිංචියට යති. ඒ නිසා අඩු වන්නේ ජාතික පුරවැසියන් ය. ජීවත්වීමට පොහෝනා පරිසරයක් හා ආර්ථිකයක් අපේක්‍ෂාවෙන් විදේශයක පදිංචියට යන පිරිස බොහෝ විට දක්‍ෂයෝ ය. බුද්ධිමතුන් ය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgUyjdQJdTYQcmOejuuoEwGA_p5rHVa11-AjN-TWqhudI0BGX6cgUjHAzJaEpI1qPH_7o0NQu6nPJkF0mUUPtGqei1l4sYUmxWbn1K9OAsRQ7Muv4U8fxvl3A3Oy7__wWn7-1xg2Ylv3no/s1600/images+%25281%2529.jpg)
කලකට පසුව මම ඔහුගේ නිවසට ගියෙමි. ඒ ඔහු දිවා ආහාරය ගනිමින් සිටි වේලාවයි. ඔහුගේ බත්පත පිඟානක නොවීය. මධ්‍යම ප්‍රමාණයේ බේසමක විය. ඒ තුළ හාල් කිලෝවක පමණ බත් විය හැකිය.
මං බත් කන හැටි මහත්තයා දැක්‌කා නොවේ දැයි ඇසූ එම ගොවි මහතා බත් කා නිමා වී උදැල්ලත් රැගෙන කුඹුරට බැස්‌සේය. ඔහු ආපසු කුඹුරෙන් ගොඩට එන්නේ මේ අක්‌කරයක පමණ වූ මුළු කුඹුරම කොටා නිම කළ පසු බව එහි සිටි අය මට කීහ.
ඒ නිදසුන මෙහිලා සඳහන් කළේ සිංහල හාලේ බතට පොල් සම්බෝලය දමාගෙන ආහාර වේල පිරිමසා ගනිමින් දහදෙනකුගේ වැඩ කොටස තනිවම කළ හැකි අයෝමය ශක්‌තියක් පැරැණි ගොවියාට වූ බව පසක් කිරීමටය. එක් අතකින් ජාතිය කුඩා වෙද්දී තවත් පැත්තකින් ශාරීරික ශක්‌තිය හීන වී යමින් පවතින පරපුරක් ගැන කතා කිරීමත් කනගාටුවට කරුණකි.
ශාරීරික වශයෙන් පමණක් නොව මානසික වශයෙන් ද වත්මන් පරපුර තුළ පසුබැස්‌මක් දක්‌නට ලැබේ. මිනිසුන් මෙසේ ශාරීරික හොරුන් බවට පත් වූයේ ඇයි. බෝලයට හා පිත්තට කාලය පූජා කළ පිරිසකුත්, රූපවාහිනියේ පිළුණු ආදර කතාවකට පසිඳුරන්ම පූජා කළ පිරිසකුත් ටයි – කබා සහිතව උදැල්ල, කැත්ත අතට ගැනීමට අකැමැති පිරිසකුත් නාගරිකව පමණක් නොව නියංගම්වල ද දක්‌නට ලැබෙන හෙයිනි.
ආචාර්ය පියසේන රතුවිතාන
උපුටා
ගැනීම - දිවයින