ගේය පද රචකයාටත් තිබිය යුත්තේ වෙනත් නිර්මාණ කලාවන් සිදු කිරීමට අවශ්‍ය සුදුසුකම්මයි. උපතින්ම රැගෙන එන වාසනා ගුණයත් ප්රතිභාශක්තියත් ඒ කියන්නේ අපූර්ව වස්තු නිර්මාණය කිරීමේ හැකියාවත් අත්දැකීම් සහ පොතපත කියැවීමෙන් ලැබෙන දැනුමත් අවශ්‍යයි.
ඒ වගේම ගීත රචනා නැවත නැවත කිරීමෙන් ලබන අභ්‍යාසය වගේම ඔහුට භාෂාව පිළිබඳවත් සාහිත්‍යය පිළිබඳවත් සුවිශාල දැනුමක් තිබිය යුතුයි.
වර්තමාන ගේය පද රචකයන්ට ඔය සුදුසුකම් තියෙනවද.....?
මෑත අතීතයේ විද්‍යුත් මාධ්‍යයෙන් නිතර ඇහෙන ජනප්‍රිය රැල්ලේ ගීත ලියන කිසිවකු තුළ ඔය කියන කිසිම සුදුසුකමක් ඇති බව පෙනෙන්නට නෑ.
නමුත් එවැනි නිර්මාණවලට කැමැති පිරිසකුත් ඉන්නවානේ.....?
ඔව්. ඉන්නවා තමයි. හැබැයි ඒ කැමැත්ත බලෙන් ඇති කරපු එකක් කියලයි මම විශ්වාස කරන්නේ. එක දිගට එක වගේ නිර්මාණ ටිකක් අහන්න සලස්වලා බලහත්කාරයෙන් ඇති කරගන්න ජනප්‍රියත්වයක්. ඒ වගේම අනෙක් අතට අද අපේ රටේ ජනතාව සතු රසඥතාව පිළිබඳවත් පැහැදිලි අර්බුදයක් තිබෙනවා.
ඔබ ගීතයක් ලියන්න කීයක් අය කරනවද......?
මම මෙච්චර කාලයකට මුදලට සින්දු ලියලා නෑ. හැබැයි මට කියලා සින්දු ලියව ගන්න ඇතැම් අය එයාලගේ කැමැත්තෙන් සතුටින් මුදල් පරිත්‍යාග කරපු වෙලාවල් තියෙනවා. මට මම ලියන ගීත එහෙම විකුණන්න අවශ්‍ය නෑ. මොකද මගේ වෘත්තිය ගීත රචනය නෙවෙයි.
ඕනම කෙනෙක් ඉල්ලීමක් කළොත් ගීතයක් ලියන්න බාර ගන්නවද.......?
ඕනම කෙනෙක්ට නෙවෙයි සුනිල් ආරියරත්න කියන ගීපද රචකයා දැන් අවුරුදු 07ක 08ක ඉඳලා කිසිම කෙනෙක්ට ගීතයක් ලිව්වේ නෑ.
මේ නිහඬතාවයෙන් අදහස් වෙන්නේ ඔබේ ගී පද වර්තමානයට නොගැළපෙනවා කියන එකද.....?
මේ කාලයේ ලියැවෙන ගීත සහ ඇහෙන සින්දු නිසා ගීත රචනා කිරීම සම්බන්ධයෙන් සෑහෙන කලකිරීමෙන් ඉන්නේ. වර්තමානයට මා වැනි ගී පද රචකයන් අවශ්‍ය නෑ කියන හැඟීම ඇත්තටම මට තියෙනවා. මේ කලකිරීම හිතින් ඉවත් වුණ දවසක ආයෙත් මා අතින් ගීත ලියවේවි.
නන්දා මාලනිය වෙනුවෙන් වැඩි ගීත සංඛ්‍යාවක් ලියනවා. ඒ ඇයි.....?
තනි පුද්ගලයෙක් ලෙස මගේ ගීත වැඩිපුරම ගායනා කළේ නන්දා මාලනිය වුණත් ඇය හැර වෙනත් ගායක ගායිකාවන්ට මම ලියූ ගීත සංඛ්‍යාව බොහොම වැඩියි. මම ලියපු ගීත චාමර වීරසිංහ පවා ගායනා කරලා තියෙනවා.
චාමර වැනි නූතන පරපුරේ ගායකයෙක් නිසා ඔබේ පද රචනය බාල වෙයි කියලා හිතුණේ නැද්ද....?
මම සින්දුවක් බාර දෙද්දී ගායකයාගේ තරාතිරම හොයන්නෙ නෑ. ඔහුට හොඳ හඬක් තිබුණා. මගේ පද රචනාවට ඔහුගෙන් වරදක් වෙයි කියලා හිතුණේ නෑ. මම කලාකරුවාගේ ගායනයට ඇති ශක්‍යතාව හැරෙන්න වෙන කිසිවක් ගැන හිතන්නෙ නෑ.
දේශපාලනික වුවමනාවන් නිර්මාණවලින් පිට කරන එක සාධාරණයිද..?
ඔව්.... අනිවාර්යයෙන්ම ඒක එහෙම විය යුතුයි. ඒත් මගේ අතින් ඔය වැනි නිර්මාණ සිදුවන යුගයේ ඒ හැම නිර්මාණයකම තිබුණේ ඒ යුගයේ සමාජයේ පැවැති පීඩනයයි. ඒ නිර්මාණ
තුළින් එළියට ආවේ සමාජය විසින් නිර්මාණය කළ මානවයකුගේ හැඟීම්. ඒ තමයි එදා යුගය විසින් සිදු කළ ඉල්ලීම. එතැනදී සුනිල් ආරියරත්න කියන්නේ සාමාන්‍ය මනුෂ්‍යයෙක්. ඒ සාමාන්‍ය මනුෂ්‍යයාට දැනුණු දේ ලියවුණා හැරෙන්න කිසිදු දේශපාලනික වුවමනාවක් තිබුණේ නෑ.
ඔබ ගීත ලියන්නේ කවුරුන් උදෙසාද.....?
මගේ සියලුම නිර්මාණ ලියවුණේ මා වෙනුවෙන්මයි. මුලදී මට මගේ නිර්මාණ රස විඳීමේ හැකියාව තිබිය යුතුයි. මම රස විඳලා මම කැමැති වුණ නිර්මාණ තමයි පසුව ගීත ලෙස ජනප්‍රිය වෙන්නේ.
ගීතයක් ජනප්‍රිය වෙද්දී පද රචකයාට වඩා ගායකයාව මතු වෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ......?
ඉතිහාසයේ කවදත් පදරචකයන්ට ඔය අසාධාරණය යම් පමණකින් සිදු වුණා. එතැනදී තනු නිර්මාපකයාටත් ඒ ඇගැයීම නොලැබී ගිහින් තියෙනවා. හේතුව තමයි ජනතාවට සමීප වන්නේ ගායකයායි. සියලුම ආර්ථික ප්‍රතිලාභත් ගන්නේ ඔහුයි. නමුත් නීතියට අනුව නම් පදරචකයාට ලැබිය යුතු නියම වටිනාකම ලැබිලා තියෙනවා. මොකද ඕනෑම ගීතයක සම්පූර්ණ අයිතිය පදරචකයා සහ තනු නිර්මාපකයා අත නීත්‍යනුකූලව රැඳී තිබෙනවා.
ගීත රිඟින් ටෝන් සඳහා ලබා ගනිද්දී පද රචකයාගේ අයිතිය සුරැකෙනවද......?
පද රචකයාගේ හෝ තනු නිර්මාපකයාගේ හෝ අවසරය නැතිව රිඟින් ටෝන් සඳහා ගීත විකුණන හොර ජාවාරම්කරුවන් ඕන තරම් ඉන්නවා. මගේ ගීතයකට එවැනි වරදක් සිදු වුණොත් අනිවාර්යයෙන්ම මම නීතිය ක්‍රියාත්මක කරනවා. දැනුවත්ව තවම එවැන්නක් සිදුවී නෑ. කොහොමටත් මම රිඟින් ටෝන් සඳහා ගීත විකුණන කෙනෙක් නෙවෙයි.
උපුටා
ගැනීම -මව්බිම