UNP යත් 10 දා ‘නීතියට හිස නමනු’ සටනට එක්වේ

ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, නීති විරෝධීව කටයුතු කරන ආණ්ඩුවට එරෙහිව, අනෙකුත් දේශපාලන පක්ෂ සංවිධාන සහ ජනතාව සමග පාරට බැස සටන් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.මේ අනුව දෝශාභියෝග පාර්ලිමේන්තු විවාදය ඇරඹෙන දා, එනම් 10 දා අධිකරණ සංකීර්ණයේ සිට පාර්ලිමේන්තුව දක්වා ගමන් ගන්නා මහා පෙළපාලියට එක්සත් ජාතික පක්ෂයද සිය සාමාජිකත්වය සහභාගී කරවමින් එක්වීමට තීන්දු කර තිබේ.

ඉන් අනතුරුව ව්‍යවස්ථාව උල්ලංඝනයට එරෙහිව ලබන 15 දා සිට රටපුරා උද්ඝෝෂණ සංවිධානය කිරීමටත්, ඒ සදහා අනෙකුත් දේශපාලන පක්ෂවලට හා සංවිධාන වලටද ආරාධනා කිරීමටත් එජාප තීරණය කර ඇත.


‘නීතියට හිස නමනු’ යන තේමාව යටතේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය නම් එකමුතුව විසින් 10 දා පැවැත්වෙන උද්ඝෝෂනය සහ පෙළපාලිය සංවිධානය කරන බව එහි ප‍්‍රකාශක නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා ප‍්‍රකාශ කළේය.

මෙම එකමුතුවට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ප‍්‍රමුඛ මහා සංඝයා වහන්සේලාගේ අනුශාසකත්වය ලැබෙන අතර 'නීතිඥ එකමුතුව' ප‍්‍රමුඛ දිවයින පුරා සිටින නීතිඥ ප‍්‍රජාව මෙහි මූලිකත්වය ගෙන තිබේ.

එජාපය හැරුණු කොට අනෙකුත් දේශපාලන පක්ෂ ලෙස දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදීන්, නව සමසමාජ පක්ෂය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ, මුස්ලිම් දෙමළ ජාතික සන්ධානය, නව සිහල උරුමය මෙම දැවැන්ත පෙළපාලියට සහ උද්ඝෝෂනයට සහාය දක්වන බව මේ වන විටත් පවසා ඇතැයි ජේ.සී. වැලිඅමුණ මහතා පැවසීය.

ඔහු කී පරිදි සරසවි ආචාර්යවරුන්ගේ සම්මේලනය, ලීනස් ජයතිලක, සමන් රත්නප‍්‍රිය, ජෝෂප් ස්ටාලින්, ශ‍්‍රීනාත් පෙරේරා, ඞී.ඩබ්.සුබසිංහ, මුදිත කරුණාමුණි, තිලකරත්න කාරියවසම්, ඇන්ටනී මාකස් සහ එන් ජෙනගන් ආදී වෘත්තීය සමිති නායකයන් තම වෘත්තීය සමිති සාමාජිකයන් සමග මෙම පෙළපාලියට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

මේ අතර තවත් වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන මෙම දැවැන්ත විරෝධතාවයට සහාය පළ කිරීමට සාකච්ඡුා කරමින් සිටින බවද වැලිඅමුණ මහතා පැවසීය.

Gossip Lanka Hot News Previous News Archive