UPFA - UNP උසාවි නොයති, JVP - TNA උසාවි යති

දෝෂාභියෝගයට අභියාචනාධිකරණයට කැඳවීම 
අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය විමර්ශනය කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නියෝජනය කරන ලද ආණ්‌ඩු පක්‍ෂයේ සහ එක්‌සත් ජාතික පක්‍ෂ නියෝජිතයන් අභියාචනාධිකරණය හමුවේ අද (03 වැනිදා) දින පෙනී නොසිටීමට තීරණය කර ඇති අතර ජනතා විමුක්‌ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටීමට තීරණය කර ඇත.

ඒ අනුව තේරීම් කාරක සභාව නියෝජනය කරන ලද විජිත හේරත් සහ ආර්. සම්බන්දන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා තමන් අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින බව 'දිවයින' ට පැවසූහ.


අගවිනිසුරුවරියට එරෙහිව විශේෂ තේරීම් කාරක සභාව විසින් ගන්නා ලද තීරණ බලරහිත කරන ලෙස ඉල්ලා අගවිනිසුරුවරිය විසින් පසුගියදා අභියාචනාධිකරණය හමුවේ "රිට්‌" පෙත්සමක්‌ ඉදිරිපත් කළ අතර එය සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඒ පිළිබඳ විභාගයක්‌ පැවැත්වීමට කථානායකවරයා ඇතුළු තේරීම් කාරක සභා නියෝජිතයන්ට නොතීසි නිකුත් කරන ලදී.

පාර්ලිමේන්තුවේදී සැලකිල්ලට ගන්නා ලද කාරණාවක්‌ සම්බන්ධයෙන් අධිකරණයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවිය නොහැකි යන මතයේ සිට ආණ්‌ඩු පක්‍ෂය සහ එජාපය නියෝජනය කරන ලද තේරීම් කාරක සභා නියෝජිතයන් අද දිනයේ අභියාචනාධිකරණ හමුවේ පෙනී නොසිටින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත්ව ඇති දෝෂාභියෝග ක්‍රියාවලිය අවසානය දක්‌වා ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ස්‌ථාවරය බව පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

මහවැලි කේන්ද්‍රයේදී ඊයේ (2 දා) පැවැති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මාධ්‍ය හමුවේදී දෝෂාභියෝග ක්‍රියාවලිය පිළිබඳව පක්‍ෂයේ ස්‌ථාවරය විමසූ අවස්‌ථාවේ ඇමැතිවරයා මේ බව පැවැසීය.

මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව සකස්‌ කර අවසන් වී කථානායකවරයා වෙත භාරදී දැන් එය විවාදයට දින නියම කරගන්නා තෙක්‌ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙන බවත් හෙතෙම කීවේය.

ඉදිරියේදී පැවැත්වෙන පක්‍ෂ නායක රැස්‌වීමේදී දින නියම කර පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කර ජනාධිපතිවරයාට දැනුම් දීමෙන් පසු අවසාන තීරණය ජනාධිපතිවරයා විසින් ගැනීමට නියමිත බවත් ඇමැතිවරයා පැවසීය.

පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු එය ඉවත දැමීමට ජනාධිපතිවරයාට සදාචාරාත්මක හැකියාවක්‌ තිබේදැයි ප්‍රශ්න කළ ඇමැතිවරයා ජනාධිපතිවරයාගේ දැනුවත් වීමට මේ සඳහා ස්‌වාධීන කමිටුවක්‌ පත් කර ගත හැකි බවත් කීවේය.

අභියාචනාධිකරණය තේරීම් කාරක සභාවට පෙනී සිටින්නැයි නිකුත් කළ නියෝගය අනුව ක්‍රියා කරන්නේදැයි මාධ්‍යවේදියකු මෙහිදී නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ඇමැතිවරයා තේරීම් කමිටුවේ සියලු කටයුතු මේ වනවිට අවසන් කර වාර්තාව පාර්ලිමේන්තුවට භාරදී කමිටුවේ කාර්යභාරය අවසන්වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටීමේ අවශ්‍යතාවක්‌ නැති බවත් සඳහන් කළේය.

Gossip Lanka Hot News Previous News Archive