විනිසුරුවන්ට දඩුවම් කල යුතුයි - Wimal Weerawansa

පාර්ලිමේන්තුවට එරෙහිව නියෝග ලබාදුන් විනිසුරුවරුන් දෝෂාභියෝගය අවසන් වු වහාම පාර්ලිමේන්තුව අභියසට කැඳවා එහි බලතල හා වරප්‍රසාද යටතේ උපරිම ක්‍රියාමාර්ග ගතයුතු බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පැවසිය.

තම වාසිය වෙනුවෙන් අධිකරණ බලය මෙහෙය වු එකම අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය බවත්, එලෙස කටයුතු කළ අගවිනිසුරුවරයකු හෝ විනිසුරුවරියක ලෝකයේ කොහේවත් නොමැති බවත් හෙතෙම කීවේය.


ජාතික නිදහස් පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (06) පැවැති මාධ්‍ය සාකච්ඡාවෙදි ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.

මහජන පරමාධිපත්‍ය බලය ගැට ගැසී තිබෙන තැන අභිබවා යෑමට හෝ කකුල් මාට්ටු දැමීමට කිසිවෙකුට නොහැකි බවද වීරවංශ මහතා එහිදී අවධාරණය කළේය.

මෙය ආණ්ඩුවට එරෙහිව ගෙන එන පනතකට ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තින්දුවක් නොවන බව පැවසු ඒ මහතා, එවැනි පනත්වලට දුන් තීන්දු පිළිගෙන ඇති බව කීවේය.

මෙය සම්පූර්ණ දේශපාලන වුවමනාමක් මත සිදුවන බවත්, ප්‍රභාකරන්ට කිරිමට බැරිවුණ දේ වෙනත් අයුරකින් කිරිමට ගෙන යන කුමන්ත්‍රණයක් බවත් සදහන් කල ඇමැතිවරයා, එවැන්නක් කිරීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් ප්‍රකාශ කළේය.

සාමය යටතේ සංවර්ධනය වෙමින් ඉදිරියට යන රට අන්තර් ජාතික වශයෙන් හුදකලා කර ආපස්සට තල්ලු කිරීමේ මෙහෙයුමේ කොටසක් බවද විමල් වීරවංශ මහතා මෙහිදී අනාවරණය කළේය.

ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසිය.

'' අගවිනිසුරුවරියට එරෙහිව ක්‍රියාත්මක වන දෝෂාභියෝග ක්‍රියාවලියේ දී අධිකරණය ගත් ක්‍රියාමාර්ගවලින් ප්‍රධාන කරුණු දෙකක් සනාථ වෙනවා. පළමු වැන්න නීතිය හා අධිකරණයේ බලය තමාගේ වාසිය සඳහා යොදාගත් ලොව එකම අගවිනිසුරුවරිය ශ්‍රී ලංකාවේ රාජකාරි කරන බව.

දෙවැන්න රටක උත්තරීතර නීතිය වූ ව්‍යවස්ථාවේ වගන්ති උල්ලංඝනය කරමින් තම පාර්ශ්වයේ වාසිය සඳහා නියෝග ලබා දුන් විනිසුරුවන් ශ්‍රී ලංකාවේ රාජකාරි කරන බව.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවට නියෝග දීමේ හැකියාවක් කුමන හෝ අධිකරණයකට නැ.

නීති සම්පාදනයේ ප්‍රමුඛයා ව්‍යවස්ථාදායක සභාව හෙවත් පාර්ලිමේන්තුව වන අතර එම නීති ක්‍රියාත්මක කිරීම අධිකරණයට පැවැරී තිබෙන නමුත්, නීතිය වෙනස් කිරීමේ අයිතියක් අධිකරණයට නැහැ. ඒ නිසා ව්‍යවස්ථාව උල්ලංඝනය කළ විනිසුරුවන් වහාම පාර්ලිමේන්තුව හමුවනට කැඳවිය යුතුයි.''

දෝෂාභියෝගය සම්බන්ධයෙන් එසේ කරුණු දැක්වූ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා දෝෂාභියෝගය විමර්ශනය කල කමිටුවේ සාමාජිකයකුද විය.


Gossip Lanka Hot News Previous News Archive