දින පහක බිලිඳිය ලක්ෂ 2කට විකුණන්න හදලා

දින 5ක් වයසැති බිලිඳියක ලක්ෂ 2කට අලෙවි කිරීමට තැත් කළ තිදෙනකු අවිස්සාවේල්ල පොලිසියෙන් ඊයේ (10) සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව ළමා හා කාන්තා කාර්යාංශයේ සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය පවසන්නීය.

ළමා හා කාන්තා කාර්යාංශයේ හදිසි ඇමතුම් අංක 1929 ට ලද තොරතුරකට අනුව කොළඹ දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරීන් විසින් අවිස්සාවේල්ල පොලිසිය සමඟ කළ වැටලීමකදී සිද්ධියට අදාළ සැකකාර කාන්තාවන් දෙදෙනකු සමඟ එක් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.එක් කාන්තාවක් අවිස්සාවේල්ල රෝහලේ සුළු සේවිකාවක වන අතර එම සේවිකාව විසින් රුපියල් 35000 ක මුදලක් මූලික ගෙවීමක් ලෙස බිලිදියගේ මවට ලබාදී ඇත.


අනියම් ඇසුරක් හේතුවෙන් සීතාවක කර්මාන්තපුර ප්‍රදේශයේ කාන්තාවක බිහිකළ මෙම ගැහැණු බිලිදිය රෝහලේදීම විකිණීම සඳහා මෙම සුළු සේවිකාව ඇයට උපකාර කර ඇති අතර මෙම ළදරු ජාවාරම නුගේවත්ත ප්‍රදේශයේ නිවෙසකදී සිදුකිරීමට සැලසුම් කර තිබූ බව අනෝමා දිසානායක මහත්මිය පැවැසුවාය.

උපරිම පහසුකම ළදරුවන්ට යන සංකල්පය යටතේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ක්‍රියාත්මක වුවද දැනට නීතියේ ඇති යල්පැනගිය බව හේතුවෙන් සමහර අවස්ථාවන්වලදී එම උපරිම පහසුකම ළදරුවන්ට යන සංකල්පය ක්‍රියාත්මක කළ නොහැකි බව අනෝමා දිසානායක මහත්මිය පැවැසුවාය. නීතිය යාවත්කාලීන කිරීම කළ යුතු බවත් ළදරුවා අලෙවි භාණ්ඩයක් ලෙස ලංසුගත කිරීම සමාජයක ගැඹුරු පිරිහීමක් බවත් පෙන්වා දෙන දිසානායක මහත්මිය සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ මැදිහත්වීමක් ළමා හා කාන්තා කාර්යාංශය මඟින් සිදුකරන බවද පැවැසීය.

අවිස්සාවේල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Gossip Lanka Hot News Previous News Archive