වසරකට රුපියල් මිලියන 36 ක්‌ ගිලින උතුරු මැද බල්ලෝ !

උතුරු මැද පළාතේ සුනඛයන් සපා කෑම නිසා වසරකට රුපියල් මිලියන 36 ක්‌ වැය කරන බව උතුරු මැද පළාත් සෞඛ්‍ය හා ප්‍රවාහන ඇමැති එච්. බී. සේමසිංහ මහතා පැවසීය. ඉකුත්දා අනුරාධපුර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති සුනඛ මිතුරු නිවහන ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කරමින් ඇමැති සේමසිංහ මහතා මෙසේද කීය. සුනඛයන් නිදැල්ලේ ගැවසීමෙන් සිදුවන සපාකෑම් මගින් මිනිසුන්ට ජල භීතිකා රෝගය වැළඳීමේ අවදානමක්‌ තිබෙනවා. සුනඛ සපාකෑම්වලින් පසු සිදුකරන එන්නත්වලට මහජන මුදල් විශාල ප්‍රමාණයක්‌ නිකරුණේ වැය වෙනවා. 

මහාමාර්ග ආශ්‍රිතව සුනඛයන් නිදැල්ලේ ගැවසීම හේතුවෙන් බොහෝ රිය අනතුරුද ඇති වෙනවා. මේ හේතුව සලකා බලා අනුරාධපුර ඇලයාපත්තුවේ නෙල්ලිකුලම් ගම්මානයේ සුනඛ මිතුරු නිවහන පවත්වාගෙන යැමට එහි පාලන කටයුතු අනුරාධපුර නගර සභාවට පවරා දීමටත් තීරණය කළා.


උතුරු මැද පළාත තුළ ජල භීතිකාව තුරන් කිරීම හා සුනඛයන්ට මානුෂිකව සැලකීම ඉලක්‌ක කරගෙන ක්‍රියාකාරකම් යෝජනා කරමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. අනුරාධපුර නගරයේ පමණක්‌ අයාලේ යන සුනඛයන් 8000 කට වැඩිය සිටිනවා. නගරය ආශ්‍රිතව නිදැල්ලේ ගැවසෙන සුනඛයන්ට රැකවරණය ලබාදීම, සුනඛ වන්ද්‍යාකරණය, ප්‍රතිකාර කිරීම හා සෞඛ්‍ය ආරක්‌ෂිත සුනඛයින් ප්‍රජාවට මුදා හැරීම අරමුණු කොටගෙන රජය එන්නත් සඳහා වියදම් කරන මුදල 90% ක්‌ පමණ අඩු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වෙනවා.

Gossip Lanka Hot News Previous News Archive