රාජ්‍ය බැංකු 3 ම කඩා වැටෙන්න යනවා - අමාත්‍ය ඞී.වී. ගුණසේකර අනතුරු අඟවයි

මිහින් ලංකා සහ ශ‍්‍රී ලංකන් එයාර් ලයින් යන ආයතන රාජ්‍ය බැංකුවලින් ගත් ණය ගෙවීම පැහැර හැර ඇති බවත් එනිසා එම රාජ්‍ය බැංකු තුන කඩා වැටෙමින් ඇති බවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඞී.වී. ගුණසේකර මහතා පවසයි.අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ මේ බැංකු තුන බැවින් මේ බැංකු කඩා වැටෙන්න දෙන්න එපා යැයි ජනාධිපතිතුමාගෙන් තමන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පැවසුවේ පාර්ලිමෙන්තු කටයුතු අමාත්‍යංශය මඟින් ගාල්ල වක්වැල්ල කළමනාකරණ පුහුණු ආයතනයේ දී පැවැති වැඩමුළුවේ දී ය.

තවදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා,

‘මූල්‍ය විනය හා මූල්‍ය පාලනය මේ රටේ ප‍්‍රධානයි. මේක ගොඩක් තැන්වල අවුල් වෙලා. මේ ක‍්‍රමය වෙනස් කරන්න ඕන. ආයතන ප‍්‍රධානීන් පත් කිරීමේ දීත් හොඳට තෝරලා දාන්න ඕන. පාර්ලිමේන්තුව මූල්‍ය විනය ගැන රටේ ජනතාවට වගකියන්න වෙනවා. විධායකය කරන සමහර වැඩ නිසා අලූත් ප‍්‍රශ්න ටිකක් ගොඩනැගිලා තියෙන්නේ.


ස්වාධීන කොමිසම් සභා ඇති කළාට ඒ තැන වුණෙත් ඒකමයි. මූල්‍ය විනය අද වැඩියෙන් ම පිරිහිලා තියෙන්නේ. වසර දහයක් තිස්සේ වාර්ෂික වාර්තා ලබාදෙනවා. මම පාර්ලිමෙන්තුවේ විපක්ෂ මන්ත‍්‍රීවරයෙක් ව ඉන්න කාලෙ හැම වාර්ෂික වාර්තාවකට ම විවාද ඇති වුණා. ඒත් අද එහෙම නැහැ. අමාත්‍යාංශයවත්, ජනාධිපතිතුමාවත් ඊට විරුද්ධව පියවර ගෙන තිබුණේ නැහැ. සමහර හමුදාපතිවරු හිටියා විශ‍්‍රාම යනවිට නිල වාහන භාර නො දීපු අය. ආරක්ෂක ලේකම්තුමා සමඟ මේ ගැන සාකච්ඡුා කරලා ඒවා නැවත භාර ගැනීමට කටයුතු කළා.

ඇඹිලිපිටිය කඩදාසි කම්හල ඕස්ටේ‍්‍රලියානු සමාගමකට කියලා ගිවිසුම් අත්සන් කරලා භාර දුන්නා. බලනකොට එහෙම සමාගමක් නැහැ. ඕස්ටේ‍්‍රලියාවේ ඔවුන් කරලා තියෙන්නේ කඩදාසි කම්හලේ මැෂින් ටික පුද්ගලික බැංකුවකට උකස් තියලා, බැංකුවත් අමාරුවේ දමලා ඔවුනුත් මාරුවෙලා. හොඳ වෙලාවට එම කම්හලේ ඉඩම් ටික මහවැලියට අයිතිව තිබුණේ. අද බොහෝ ආයතනවල මූල්‍ය විගණන සිදුවෙන්නේ නැහැ. මේ මූල්‍ය විනය නොමැතිකම විශාල ගැටලූවක්, අපි විගණන දේපාර්තමේන්තුව ශක්තිමත් කළ යුතුයි’ යැයි ද පැවැසීය.

Gossip Lanka Hot News Previous News Archive