65 වැනි නිදහස් සැමරුම දා සිරකරුවන් දහසකට නිදහස

හෙටට (4දා) යෙදෙන 65 වැනි නිදහස් සැමරුම නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ පොදු සමාව යටතේ දහසකට අධික සිරකරුවන් පිරිසකට නිදහස ලැබෙනු ඇත.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී. ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා සඳහන් කෙළේ එසේ පොදු සමාව යටතේ නිදහස් කළ යුතු සිරකරුවන් වර්ග කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ ඊයේ වන විට ලැබී තිබුණු බවයි.
 ඒ අනුව ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මංකොල්ලකෑම්, රේගු ආඥාපනත යටතේ ගැනෙන වැරැදි, ත්‍රස්තවාදී පනත යටතේ වූ වැරැදි ඇතුළු වැරැදි 27කට ඇතුළත් නොවන පුද්ගලයන්ට එම සහනය ලැබෙන බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.

 වසර දෙකක සිරදඬුවමක් ලබන පුද්ගලයන්ට සති දෙකකින් දඬුවම් කාලය අඩු වන අතර වසර 3යි මාස 2ක සිරදඬුුවමට ලක්වී ඇති සිරකරුවන්ට සති තුනක සහනයක් ලබෙනු ඇත.
 මීට අමතරව දඩමුදල් ගෙවාගත නොහැකිව බන්ධනාගාර ගතවී සිටින පුද්ගලයන්ටද නිදහස ලැබෙන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කෙළේය.
වැලිකඩ බන්ධනාගාරය ඇතුළු බන්ධනාගාර 33ක සිටින එබඳු සිරකරුවන් පිළිබඳ අද (ඉරිදා) වනවිට දැනුම්දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සියලුම බන්ධනාගාර නිලධාරීන්ට ඊයේ උපදෙස් දුන්නේය

Gossip Lanka Hot News Previous News Archive