ගිය වසර (2012) ආරම්භයේදී ශ්‍රී ලංකා ආර්ථිකයට මුහුණදීමට සිදු වූ වෙළෙඳ හිඟය ඉහළයැම සහ රුපියලේ අගය පිරිහීම ඇතුළු විදේශ අංශයේ නොසන්සුන්තාවන් සමනය කර ගැනීම සඳහා රජයත් ශ්‍රී ලංකා මහ බැංකුවත් විසින් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සමූහයක් ක්‍රියාත්මක කරන ලදී. ඒවායේ ප්‍රතිඵලයක් ලෙස එම ගැටලු වසර අග වන විට බොහෝදුරට සමනය වී තිබුණත් මුලින් අපේක්‍ෂා කළ සියයට 8 ක ආර්ථික වර්ධන වේගය සියයට 6.5 දක්‌වා අඩුවිය.
එහෙත් මේ වසරේ (2013) දී නැවතත් ආර්ථිකය සියයට 7.5 ක වර්ධනයකට ගමන් කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. පහතින් පලවන්නේ මේ වසරේ ආර්ථික ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙන්ම පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ප්‍රකාශ කළ කරුණු ගැන මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග ''දිවයින'' පුවත්පතේ මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත මහතා කල සකච්ජාවකි.
ප්‍රශ්නය - ගිය වසරේ (2012) ලෝකයේ සෑම ආර්ථික කලාපයකම වගේ ආර්ථික වර්ධන පුරෝකථන අගය අඩු කළා. ඒ අනුව අපේ ආර්ථික වර්ධනයත් සියයට 8 සිට 6.5 ට අඩු වුණා. මේ වසර (2013) සඳහා මහ බැංකුව අපේක්‍ෂා කරන 7.5 ක ආර්ථික වර්ධන අගය අපට ළඟා කර ගන්න පුළුවන්ද?
පිළිතුර - මේ 7.5 ක ආර්ථික වර්ධනය අපි තීරණය කළේ සියලු තත්ත්වයන් ගැන සලකා බලලයි. එහිදී ලෝක තත්ත්වය රටේ තත්ත්වය සහ රටේ ස්‌ථායිතාවය යන සියලු සාධක සලකා බැලුවා. එය මේ වසර (2013) සඳහා අපට ලබාගත හැකි ඉලක්‌කයක් හැටියට තීරණය කළ නිසයි, අපි අපේ මාර්ග සැලැස්‌මෙන් (Road Map) ප්‍රකාශයට පත් කළේ. දැනට පේන ලෙසත් එම ඉලක්‌කයට පැහැදිලි ලෙසම අපට යන්න පුළුවන්. ඒ අනුව සියයට 7.5 ක ආර්ථික වර්ධනය ලබාගත හැකි ඉලක්‌කයක් ලෙසයි අපි දකින්නේ.
ප්‍රශ්නය - ගිය වසරේ (2012) අපේ ආර්ථිකයට ඇතිවූ බොහෝ අභියෝගාත්මක තත්ත්වයන් මේ වන විට සමනය වෙලා තියෙනවා. වෙළෙඳ හිඟය අඩුවී රුපියලේ අගයත් ස්‌ථාවර වී තිබෙනවා. ඒ තත්ත්වය ඉදිරියටත් අපට පවත්වාගෙන යන්න පුළුවන්ද?
පිළිතුර - මම හිතන හැටියට මේ වසරේදී ගිය වසරට වඩා පැහැදිලි ගමනක් අපට යන්න පුළුවන්. ගිය වසරේදීත් අපි අපේ ගමන ගැන පැහැදිලි කරද්දී බොහෝ දෙනෙක් විවේචන ඉදිරිපත් කළා. රුපියල 125 ට විතර ඩොලරයට සාපේක්‍ෂව ඒවි කිව්වම සමහර අය හිනා වුණා. එහෙම වෙන්නෙ නැහැ කියල පත්තරවල විශාල ලිපි ලිව්වා. අද ඒ අයගෙන් අපට ප්‍රශ්න කරන්න පුළුවන්. රුපියල දැන් ඩොලරයට සාපේක්‍ෂව රුපියල 125 ක 126 ක මට්‌ටමට ස්‌ථාවර වෙලා. හැම ඉලක්‌කයක්‌ම ඒ විදියටම වෙයි කියල අපිට කියන්න බැරි වෙයි. නමුත් අපි කියපු විදියට ආර්ථිකය හැසිරිලා තියෙනව. වෙළෙඳ හිඟය අඩුකර ගන්න අප සමත් වෙලා තියෙනවා. අපි කිව්ව ගෙවුම් ශේෂ අතිරික්‌තයක් ඇති වෙයි කියලා. ඒක සිදුවුණා. ඒ නිසා මේ සියල්ලම යම් ආකාරයකට අපි ප්‍රකාශ කළ පරිදි සිදුවෙලා තියෙනවා.
දැන් අර තිබූ ආර්ථික ප්‍රශ්න බොහෝමයක් එක වසරක් තුළදී බොහෝ දුරට නිරාකරණය කර ගැනීමට අප සමත් වුණා. ඒක හරි වැදගත්. හේතුව අපි උපරිම අවශ්‍ය ප්‍රතිපත්තිමය පියවර ගත්තා. රජයත් ගත්තා. මහ බැංකුවෙන් අපිත් ගත්තා. ඒ තත්ත්වය අපි ඉක්‌මණින්ම සමනය කර ගත්තා. ගිය වසර (2012) අවසන් වෙන්න කලින් අපිට ප්‍රතිපත්තිමය පොලී අනුපාත ලිහිල් කරන්නත් පුළුවන් වුණා. ඒ සියල්ලම කරල 2013 වසරේදී හොඳ ආර්ථික වර්ධන වේගයක් ලබා ගැනීමට අද අපි හොඳ අඩිතාලමක් දාල තියෙනව. දැන් ඒ ගමන යන බව අපට පේනව. මෙහිදී අපිට ලෝක තත්ත්වයක් ගැනත් දිගින් දිගටම බලන්න සිදු වෙනව. දැන් තෙල් මිල ඇමරිකානු ඩොලර් 120 ට ගිහින් තියෙනවා. මේ වසර මුලදී තෙල් බැරලය තිබුණෙ, ඩොලර් 107 ට. මේවා පාලනය කරන්න පුළුවන් තත්ත්වයනුත් නොවෙයි. මේවා බාහිර සාධක. ඒ වුනත් ඒ ගැනත් අපි සැලකිල්ලෙන් ඉඳල හිතන හැටියට මේ වසරෙදි අපේ ආර්ථිකය යහපත් මට්‌ටමේ තබා ගන්න පුළුවන් වේවි.
ප්‍රශ්නය - දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්‍ෂව රජයේ ආදායම් අඩුවී ඇති තත්ත්වයට අමතරව අපගේ අපනයන ආදායම් ප්‍රතිශතයත් ජාතික ආදායමට සාපේක්‍ෂව අඩුවෙමින් පවතිනවා. ඒ ගැනත් අප අවධානය යොමු කළ යුතු බව පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්‌ඩල ප්‍රධානියා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා.
පිළිතුර - එතැනදී අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග සියයට සියයක් එකඟ වෙන්නේ නැහැ. හේතුව අපි ආර්ථිකය තරමක් වෙනත් දිශාවකට අද යොමු කරගෙන යනවා. ඔබ දන්නව ඇති අපට මුලින්ම තිබුණෙ ඔය කියන විදියේ තේ, පොල් සහ රබර් වැනි සාම්ප්‍රදායික භාණ්‌ඩ අපනයනය කරන ආර්ථිකයක්. ඒකට අපි තවත් භාණ්‌ඩ එකතු කළා. ඒ කියන්නෙ ඇඟලුම් කර්මාන්තය මැණික් අපනයනය යනාදී වශයෙන් භාණ්‌ඩ අපනයනය කිරීමේ ආර්ථිකයක් අපි ක්‍රමයෙන් ගොඩනගාගෙන ආවා. එහෙත් පසුගිය කාලයේදී මේකෙ යම් උපරිම මට්‌ටමක් දක්‌වා කිට්‌ටු වී ඇති ස්‌වභාවයක් අපිට පෙනී ගියා. ඒ කියන්නෙ රටේ තියන බිම් ප්‍රමාණය සීමිතයි. එය තවදුරටත් වැඩි කරන්න බැහැනෙ. එහෙම උපරිම සීමාවකට යම් අවස්‌ථාවකදී එනව. ඒ නිසා අපිට සිදු වුණා ආර්ථිකය තවදුරටත් විවිධාංගීකරණය කරන්න. ඒ නිසා පසුගිය වසර 5 තුළදී අපි ඉතාමත් විධිමත්ව ආර්ථිකය විවිධාංගීකරණය කරන්න පටන් ගත්තා.
අපි පංච කේන්ද්‍ර සංකල්පයක් හඳුන්වා දුන්නා. අපි එයට සංචාරක ව්‍යාපාරයත් අලුතින් එක් කළා. අපි ඒ හරහා අලුතින් ආර්ථික කටයුතු නිර්මාණය කළා. දැන් ඒක කරගෙන යනවා. ඉදිරි අනාගතයේදී, ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ යම් දිශා වෙනස් වීමක් (Paradigm Shift) සිදු වෙනවා. දැන් ඒ වෙනස සිදුවෙමින් පවතිනවා. අපේ මුදල් හා මූල්‍ය අංශයේ ප්‍රතිපත්ති පෙර දැක්‌මෙන් එම වෙනස්‌වීමේ ස්‌වභාවය කුමක්‌ද යන්න අපි ඉතාමත් පැහැදිලි ලෙස පෙන්වලා දුන්නා.
ඒව කළේ අපේ හිතුමනාපෙට නොවෙයි. බොහොම සූක්‍ෂමව කල්පනාවෙන් එය කර තිබෙන්නේ. අනාගතයෙදි අපි අපනයනය කරන්න යන්නෙ භාණ්‌ඩ නොවෙයි. ඔය මූල්‍ය අරමුදල කියන කතාවෙන් තරමක් ඔබ්බට ගිහින් අපි සේවාවන් අපනයනය කිරීමේ තත්ත්වයකට එනව.
අද අපි කියනව විදේශ ප්‍රේෂණ කියල. මොනවද මේ විදේශ ප්‍රේෂණ කියන්නෙ. එනම් ශ්‍රමය අපනයනය කිරීමයි. ඒක මෙහිදී සලකළා නැහැ. යම් කිසි පුද්ගලයෙක් ශ්‍රී ලංකාවෙ කම්හලක වැඩ කරනව ද ඩුබායි ගිහින් ඉදිකිරීම් වැඩපොළක වැඩ කරනවද කියන එකේ ලොකු වෙනසක් නෑ. එතනින් හම්බ වෙන්නෙත් සල්ලි. මෙතනදී හබ්බ වෙන්නෙත් සල්ලි. පිටරට වැඩකරල ලැබෙන සල්ලි වලම ප්‍රේෂණ කියල කියන්නෙ. ඒ ප්‍රේෂණත් අපේ විදේශ විනිමය ලැබීම්වලට එකතු වන දෙයක්. ඒ නිසා එය සලකන්නෙ නැතුව අපනයන ගැන පමණක් සලකා කතා කිරිම හරි මදි.
මම හිතන හැටියට අපේ ඉදිරි ආර්ථික ගමන්මග අනුව ඔය තත්ත්වයට වඩා ඔබ්බට ගිහින් අපේ අලුත් කේන්ද්‍ර පහෙන් අලුත් ආදායම් ලබා ගන්නව. ඒ වගේම විදේශ ප්‍රේෂණවලින් ආදායම් ලබා ගන්නව. සංචාරක ව්‍යාපාරයෙන් ආදායම් ලබා ගන්නව. මේ ආකාරයට සේවාවන් රාශියකින් අපි අලුත් ආදායම් මාර්ග දැන් බිහිකරගෙන යනවා. මේ පසුබිම තුළ ඉදිරියේදී ලොකු වෙනසක් ඇති වෙනවා.
දැන් අපි ගිය වසරේදී අපනයනවලින් ගත්ත ඇමෙරිකානු ඩොලර් බිලියන 9.7 ක්. විදේශ විනිමය ප්‍රේෂණවලින් ඩොලර් බිලියන 6 ක් ලැබිල තියෙනව. ඒ වගේම සංචාරක ව්‍යාපාරයෙන් බිලියන 1 ක් පමණ ලැබෙනව. දැන් මේ අය අර බිලියන 9.7 ගැන පමණක් කතා කරල මේ ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ගැන අමතක කරනව. මේ හරහා ලොකු වෙනසක් ආර්ථික තුළ සිදුවෙලා තියෙනව. ඒක අපේ ඉදිරි ආර්ථික ගමනෙදි අදාළ කරගන්න ඕන. ඒ තුලින් සමස්‌ත තත්ත්වය බලන්න ඕන. අපේ විදේශ ගිණුම කොහොමද හැසිරෙන්න කියල බලන්න ඕන. රට යන දිශාව මොන වගේද බලන්න ඕන. ඒකයි අපි කියන්නෙ එක පැත්තක් දිහා පමණක් බලල කතා කරල වැඩක් නැහැ. අපනයන ආදායම අඩුයි කියන සාධකය ගැන අපි හිත යොමු කරන ගමන්ම අපි ඒ ගැන දැනුවත්ව තමයි ආර්ථිකයේ විවිධාංගීකරණය කරල තියෙන්නෙ. ඒ හරහා අපනයන ආදායම පැත්තෙන් යම් දුර්වලතාවක් තිබෙනව නම්, ඒක අපිට අනිත් සාධකවලින් මැඩපවත්වාගන්න පුළුවන් වෙනව.
ප්‍රශ්නය - ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඛනිජ තෙල් මිල තීරණය කිරීම සඳහා සූත්‍රයක් හඳුන්වාදීමේ හෝ පිරිවැය නිරූපණය වන මිල කරණයකට යැමේ අවශ්‍යතාව ගැන සඳහන් කළා.
පිළිතුර - වසර මුල ඉදිරිපත් කළ අපේ මාර්ග සැලැස්‌ම බැලුවොත් මේ වසර (2013) ඔය තෙල් සංස්‌ථාව හා විදුලිබල මණ්‌ඩලය යන රාජ්‍ය ආයතන දෙක තුළ තිබෙන යම් යම් අඩුපාඩු හරිගස්‌වා ගැනීමට තිබෙන හොඳම වසරක් බව අපත් කියා තිබෙනවා.
ප්‍රශ්නය - ඒ කියන්නේ අඩු තරමේ ලඟ පාඩු නැති තත්ත්වයට වත් මේ ආයතන ගෙන එන බවද?
පිළිතුර - ඒ වගේ තත්ත්වයකට එන්න ඕන. මේ වසර තුළදී හේතුව ආර්ථිකයට මුහුණදීමට සිදු වූ ප්‍රශ්න රාශියක් අපි ගිය වසරේදී ක්‍රමක්‍රමයෙන් විස¹ ගත්තා. ඒ නිසා මේ වසරේදී මේ කරුණ අපි අරමුණු කරගන්න ඕන. මේ ආයතන දෙක අපේ රටේ තිබෙන ඉතාමත් වැදගත් රාජ්‍ය ආයතන දෙකක්. ඒ නිසා හොඳ කළමනාකරණයක් තුළින් පාඩු නොලබන තත්ත්වයට මේ ආයතන දෙක පත් කරගන්න පුළුවන් නම් ඒක රටේ ආර්ථිකයටත් ලොකු ශක්‌තියක්. ඒ වගේම ආර්ථිකයේ දිගු කාලීන ස්‌ථායිභාවයටත් එය විශාල රුකුලක් වෙනව. ඒ නිසා ඒ තත්ත්වය ඇති කරගන්න අපි උනන්දු වෙන්න ඕන. ඒ තුළින් අපේ ආර්ථික අනාගතයට ඉතාම සුබදායි ලකුණු පහළ වෙනව.
ප්‍රශ්නය - මහ බැංකු අධිපතිතුමනි, අපේ සංචාරක පැමිණීම්වල විශාල වර්ධනයක් තිබුණත් අප තවමත් ඉන්නේ අපේ විභවතාවට වඩා පහළින් බවයි මගේ අදහස. එනම් අපි මීට වඩා මහන්සි වුණොත් අපේ සංචාරක පැමිණීම් ප්‍රමාණය වගේම සංචාරක ඉපයීම් ප්‍රමාණය තවත් විශාල වශයෙන් වර්ධනය කරගන්න පුළුවන්. ඒ සඳහා සංචාරකයන් විශාල වශයෙන් ගමන් කරන සහ දැනටමත් ආදායම් උපයන ප්‍රධාන සංචාරක ස්‌ථානවල සංචාරක පහසුකම් ඉහළ නැංවීමත් කඩිනමින් කළ යුතුයි නේද?
පිළිතුර - අනිවාර්යයෙන්ම ඒක හරියටම හරි. අපි සියයට සියයක් ඒ මතයේ ඉන්නව. එය ඉතා වැදගත්. හේතුව අපේ සංචාරක නිෂ්පාදිතයක් (Tourism Product) තියෙනව. විදෙස් සංචාරකයන්ට අපේ රටට එන්න කියන පණිවුඩය ලෝකයට ගෙන යැමේදී අපට වාසිදායක තත්ත්ව රැසක් තියෙනවා. ඒ එක්‌කම අපේ සංචාරක ආකර්ෂණවල තියන තත්ත්වය ක්‍රමානුකූලව අපි ඉහළ නංවා ගත යුතුයි. අපි ලෝකයත් එක්‌කනෙ තරඟ කරන්නෙ. ඒ නිසා ඒවායේ පවතින තත්ත්වය ඉක්‌මණින් අපි වර්ධනය කර ගත යුතුයි.
ලෝකයේ අනෙකුත් සංචාරක ගමනාන්තවලට වඩා අපිට ඉදිරියෙන් ඉන්න පුළුවන් වන්නේ එවිටයි. අපේ රට සොභා සෞන්දර්යයෙන් අනූන රටක් බව කවුරුත් පිළිගන්නව. එහෙත් ඔබ කිව්ව වගේ සංචාරක ස්‌ථානවලට යන්න හොඳ පාරවල් තියෙන්න ඕන. එම ස්‌ථානවල හොඳ වැසිකිළි පහසුකම් අවශ්‍යයි. අපි මුදල් අය කරනව නම් ඒ පහසුකම් ලබා දෙන්න ඕන. ඒ සඳහා අපි ඉක්‌මණින් ක්‍රියාත්මක විය යුතුයි. දැන් පසුගිය වසර තුන තුළදී අපේ සංචාරක ව්‍යාපාරයේ ලොකු දියුණුවක් වෙලා තියෙනව. අලුත් හෝටල් ඉදිවෙලා කාමර පහසුකම් වැඩිවෙලා තියෙනව. රටේ පාරවල් හොඳයි. ගුවනින් යන්න පුළුවන්. ඒ වුනත් සංචාරක පහසුකම් තවදුරටත් වැඩි කරන්න අවස්‌ථාව තියෙනව.
ප්‍රශ්නය - මේ රටින් පිටව යන විදෙස් සංචාරකයා අපේ රටට පැමිණීම පිළිබඳව තෘප්තිමත් මනසකින් පිටව ගියොත් පමණයි ඔවුන් නැවත මේ රටට එන්නේ. ඒ සඳහා අප තවදුරටත් ක්‍රියා කළ යුතුයි නේද?
පිළිතුර - ඔව්. මම ඒක පිළිගන්න ගමන්ම මෙහෙම කියන්න කැමතියි. දැන් බලන්න තායිලන්තය ගත්තොත් එහේ තියන සියලුම සංචාරක ගමනාන්ත පසුගිය වසර 30 තුළදීම ඒව වර්ධනය වුණා. අපේ ඒව නැවතුනා. අපි පසුගිය වසර 3 තුළදී තමයි අයිත් පටන් ගත්තෙ වර්ධනය කරන්න. ඒ නිසා මේ වර්ධනයන් සිදු කරන්න අපට යම් කාලයක් තියෙනව. ඒක අපි පුළුවන් තරම් ඉක්‌මනින් කරන්න ඕන. මෙහිදී අපට තියන බාධකය වන්නේ මේව සෑහෙන කාලයක් තිස්‌සේ වර්ධනය නොවී පැවතීමයි. හේතුව සංචාරකයන් ටික දෙනෙක් නම් එන්නෙ කවුරුත් ඒ සඳහා උනන්දු වුණේ නෑ. නමුත් දැන් හැමෝටම පේනව සංචාරක කර්මාන්තය වර්ධනය කර ගැනීමට තිබෙන අවස්‌ථාව ඔබ පෙන්වා දුන් පරිදිම. දැන් හැබැයි සීගිරියට ගියත් දෙහිවල සත්වෝද්‍යානයට ගියත් අපේ උද්භිද උද්‍යානවලට ගියත් තිබුණට වඩා උසස් තත්ත්වයකට ඇවිත් තියනව. පින්නවල දැන් ලෝකෙ හැමෝම කතා කරන තැනක්. මේ සංචාරක ස්‌ථාන තවදුරටත් සෑහෙන දියුණු තත්ත්වයකට ගේන්න පුළුවන්. දැන් සිංගප්පූරු සත්තුවත්තට ගියොත් අපේ තරම් සත්තු නෑ. නමුත් ඒ අය ඒක මාකට් කරල තියෙනව. වසර 30 ක් තිස්‌සේ අප නැවතුනු කාලය තුළ ඒ අය ඒකට අවශ්‍ය ආයෝජනය සිදු කරල, ඒක අලංකාර කරල දියුණු තත්ත්වයට ගෙනත් තියෙනව.