.ජීවිතේ ආපස්සට හැරිලා බලන විට මොකද හිතෙන්නේ
පුංචි කාලෙට යන්න තිබුණානම් කියලා හිතෙනවා.
.වැඩිහිටි කාලේ ගැන කැමැත්තක් නැද්ද?
අකැමැත්තක් නෑ... ඒත් ආයෙ කවදාවත්ම පොඩි කාලෙට යන්න බැහැනේ. ඒ නිසයි පොඩි කාලෙට යන්න කැමති.
.අනූෂා සොනාලි පුංචි කාලෙ මොනවගේ චරිතයක්ද?
ඒක ඉතින් අහන්න ඕනෑ ගෙදර අයගෙන්. හැබැයි බොහොම හුරතල් කෙල්ලෙක් කියලා ඒ අය කියනවා.
• ගම කොහෙද?
ඉපදුණේ, හැදුණේ, වැඩුණේ මොරටුවේ. පස්සේ කළුතරත් පදිංචි වෙලා හිටියා.
• පාසල් ගියේ
කළුතර බාලිකාවට.
• පාසල් කාලේ ඉගෙන ගන්න දක්ෂද?
වැඩියෙන් දක්ෂ නැටුම්වලටයි ක්‍රීඩාවටයි.
• ලොකු වුණහම කවුරු වෙන්නද හිතාගෙන හිටියේ?
දන්න දවසේ ඉඳන් කිව්වේ නිළියක් වෙනවා කියලා.
• ඒ කියන්නේ නිළියක් වෙන්න දැකපු හීනෙට වැරැද්දක් වුණේ නෑ...
ඔව්නේ... මම පුංචි කාලෙත් රඟපාලා තියෙනවා. ඒ \'හිතත් හොඳයි වැඩත් හොඳයි\' චිත්‍රපටයේ. තාත්තාගේ හිතවතෙක්ගේ මාර්ගයෙන් තමයි අවස්ථාව ලැබිලා තියෙන්නේ.
• ලොකු වුණහම ඒ හීනෙ හැබෑ වුණේ කොහොමද?
සුමිත්‍රා පීරිස් මහත්මිය ගැහැනු ළමයි චිත්‍රපටයේ රඟපාන්න නවක නිළියන් තෝරනවා කියල රස පත්තරේ මංගල කලාපයේ දැන්වීමක් දාලා තිබුණා. රස පත්තරේ මංගල කලාපයේ මුල් පිටුවේ ඡායාරූපයේ හිටියේ ජීවන් කුමාරණතුංග. එයා තමයි මගේ ආසම නළුවා. ඒ නිසා මම රස පත්තරේ ගත්තා. ඊට පස්සේ අර දැන්වීම දැකලා තමයි අයැදුම් කළේ. ගැහැනු ළමයි නිසා තමයි මගේ නිළි හීනේ හැබෑ වුණේ.
• නිළියක් වෙලා ජීවිතේ වරද්දාගත්තා කියලා හිතෙන්නේ නැද්ද?
එහෙම හිතෙන වෙලාවලුත් තියෙනවා.
• ජනප්‍රියත්වය හැරුණු විට නිළියක් වෙලා ලැබුණේ මොනවගේ දේවල්ද?
මම ඇති වුණෙත් නැති වුණෙත් නිළියක් වුණ නිසා තමයි.
• ජීවිතේ කරපු ලොකුම මෝඩකම මොකක්ද?
මිනිස්සු විශ්වාස කිරීම.
• දැන් ඒ වැරැද්ද හදාගෙනද?
තාමත් ඒ මෝඩකමම කරනවා.
• ආදරය ගැන මොකද හිතෙන්නේ?
මගේ ජීවිතේ නැත්තටම නැති වුණේ ඔය අකුරු හතර හින්දා තමයි.
• දැන් ආදරයට වෛර කරනවාද?
වෛර කරන්නේ නෑ. සමහර වෙලාවට කලකිරීමක් ඇතිවෙනවා. ඒත් ජීවත් වෙන්න ආදරයත් ඕනෑ.
• විවාහය ගැන මොකද හිතෙන්නේ?
විවාහ නොවී හිටියානම් හොඳයි කියලා හිතෙනවා.
• ඒ නිසාද පහුගිය කාලේ ආයෙමත් විවාහ වුණේ?
දැන් ඒකත් නැහැනේ.
• ඒ වැරැද්ද වුණේ ඔහුවත් විශ්වාස කරපු නිසාද?
ඔව්නේ... මිනිස්සු විශ්වාස කරන්න බැහැ කියලා ආයෙමත් තේරුම් ගත්තා.
• ඉදිරියේදී ආදරය නොකර විවාහ නොවී ඉන්නද කල්පනාව?
බඳින්නම ඕන නැහැනේ. නොබැන්දා කියලා ආදරය කරන්න බැරිකමක් නැහැනේ.
• ඒ කියන්නේ ඔබ පෙම්වතියක්.
ඒවා ඕන නැහැනේ... හැබැයි විවාහ වෙලා නිදහස නැති කරගන්න නම් දැන් මම කැමති නැහැ.
• පසුගිය කාලේ වෙච්චි දේවල් ගැන අද මොකද හිතෙන්නේ?
ඒවා ගැන තැවෙන එක තේරුමක් නැහැ. මට ඉන්නේ මං විතරක් කියලයි හිතෙන්නේ.
• එතකොට පුතා...
එයා ඉන්නවා... ඒත් කවදාහරි දවසක පුතාත් බැඳලා වෙන් වෙයිනේ. හැබැයි මට පුළුවන් කාලයක් මම එයා වෙනුවෙන් යුතුකම් ඉටු කරනවා.
• අම්මගේ ජීවිතේ හැලහැප්පීම් වෙනකොට පුතාගේ ප්‍රතිචාර මොන වගේද?
පුතා පොඩි ළමයෙක් නෙවෙයිනේ... එයාටත් දැන් යමක් කමක් තේරෙනවනේ. එයා මං ගැන මොනව හිතනවාද දන්නෙ නෑ. හැබැයි එයා දන්නවා අම්මා හැම දෙයක්ම කරන්නේ එයා වෙනුවෙන් කියලා.
• පුතා නළුවෙක් වෙන්න කැමැතිද?
මං හිතන්නේ කැමැතියි. එයා සංගීතයටත් දක්ෂයි.
• ඔබ කැමතිද පුතා නළුවෙක් වෙනවාට?
කොල්ලෙක්නේ... ඒ නිසා ගැටලුවක් නැහැ.
• ඒ කියන්නේ දියණියක් හිටියානම් නිළියක් වෙනවට කැමති නැද්ද?
ම්... දුවෙක් නැති නිසා ඒ ගැන හරියටම කියන්න බෑ. හැබැයි දුව නිළියක් වුණොත් මම පස්සෙන්ම ඉඳියි.
• ඔබේ මව ඔබේ පස්සෙන් නොහිටි නිසාද ඔබට වැරැදුණේ
අම්මා මගේ පස්සෙන් හිටියා. ඒ හැමදේටම වඩා මගේ හිතුවක්කාරකම වැඩිවුණා. පුංචි කාලෙ ඉඳන්ම මම හරි හිතුවක්කාරයි.
• ඔබ ගැන විවිධ කතා පැතිරෙන විට ඔබ ඒවට මුහුණ දුන්නේ කොහොමද?
සමහර වෙලාවට කේන්ති යනවා. ඒත් මම ඒ ගැන තැවෙන්නේ නෑ. ඒවා නිවැරැදි කරන්න යන්නේත් නැහැ.
• යාළු මිත්‍රයෝ ඉන්නවාද?
ඔව්... එදා වගේම අදටත් කිසිම වෙනසක් නැතුව ආශ්‍රය කරන කීප දෙනෙක්ම ඉන්නවා.
• විවිධ අය විවිධ දේ කිව්වත් ඇත්තටම අනූෂා සොනාලි කියන්නේ කවුද?
මමත් සාමාන්‍ය ගැහැනියක්.
හැබැයි හිත හොඳයි. කිව්වොත් කිව්ව දේ කරනවා. හොඳට හොඳයි. නරකටත් එහෙමයි. කියන්න තියෙන දේ කාට වුණත් කෙළින්ම කියනවා.
• කට නිසා වැරදුණ තැනුත් ඇති?
අපෝ ඔව්... අනන්තයි අප්‍රමාණයි.
හිමේෂා සවන්තී රාජපක්ෂ
උපුටා ගැනීම -මව්බිම