ජවිපෙ චූටි මල්ලිලා අපිව හරියට හඳුනාගෙන නෑ - Bandula Gunawardane

JVP චූටි මල්ලිලා අපිව හරියට අඳුනන්නෙ නැහැ. ඒ අයගෙ න්‍යාය පත්‍රයට අනුව අධ්‍යාපනය කරලා තමයි මේ රටේ දශක තුනක් ‍ලේ වලින් උතුරෙයි දකුණෙයි ඉතිහාසය ලිව්වේ යයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ලක්බිම පුවත්පතේ  අචලා ධර්මසේන සමග සාකච්චාවකට එක්වෙමින් පවසා ඇත.
 එම සම්පුර්ණ සාකච්චාව පහත පරිදි වේ.

පසුගිය කැබිනට් සංශෝධනයේදී අධ්‍යාපන ඇමැතිකම වෙනස්වනු ඇතැයි බොහෝ පාර්ශ්ව බලා‍පොරොත්තු වුණ නමුත් එසේ වූයේ නැහැ. ඔබ හිතන ආකාරයට එයට හේතුව කුමක්ද?

 ඒක තීරණය කරන්නේ මේ රටේ විධායක ජනාධිපතිතුමයි.
එතුමා තමන්ගෙ කැබිනට් මණ්ඩලයේ කාර්යසාධනය බලලා, රටින් ඉදිරිපත් වන කරුණු සලකා බලලා ඉතාම දුර දක්නා ආකාරයට තමයි කැබිනට් සංශෝධනයක් කරන්නේ. නිදහස් අධ්‍යාපනය දැවැන්ත හැරවුමකට ලක් කරලා ගම්බද ඉන්න දරුවන්ටත් අධ්‍යාපනයේ අවස්ථා ලබාදීමට පැහැදිලි වැඩපිළිවෙළක් තියෙන ඇමැතිවරයෙක් විදිහට අපි මේ වන විට රටේ අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය වර්ධනය කරලා සියලුම පාසල් ළමා මිතුරු ප්‍රවේශයක් සහිතව සංවර්ධනය කරන අතර මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර දහසක් සහිත පාසල් දහසක් ප්‍රතිනිර්මාණය කිරීම සිදුකරනවා.
 ඉන් මේ වන විට හාරසිය පනස් නවයක තාක්ෂණික විද්‍යාගාර ඉදිවෙමින් පවතිනවා. කවුරුවත් හීනෙන්වත් මෙය අපේක්ෂා කළේ නැහැ. මුදල් නැහැ කිව්වා. මෙහෙම කරන්න බැහැ කිව්වා. නමුත් මේක අද ප්‍රායෝගික යථාර්ථයක් බවට පත්වෙලා තියෙනවා. ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනයේ ඇත්ත හැරවුම තියෙන්නේ දැනුයි. මහින්ද රාජපක්ෂ යුගයේදීයි.
එය ජනාධිපතිතුමා සඳහන් කළා මහින්ද චින්තන ඉදිරි දැක්මේ දැනුම් කේන්ද්‍රීය සංවර්ධනය කියලා. එය වචන ගොඩක් නමෛයි. ඒකට වැඩපිළිවෙළක් තියෙනවා. එම වැඩපිළිවෙළ විවිධ අභියෝග තර්ජන ගර්ජන අපහාස උපහාස මැද ඉන්ද්‍රකීලයක් සේ නොසැලී ක්‍රියාත්මක කරන්න පෞද්ගලික න්‍යාය පත්‍රයක් නැතිව හැකියාව තියෙන්නේ මට බව ජනාධිපතිතුමා බොහොම බරපතළ ලෙස විශ්වාස කරලා තමයි එහෙම වෙනසක් කළේ නැත්තේ.  

ඒ කියන්නේ විවිධ පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල වුවත් ඔබ සාර්ථක අධ්‍යාපන ඇමැතිවරයෙක් කියලද?

  ඇත්ත වශයෙන්ම. හොරකම, වංචාව, දූෂණය අක්‍රමිකතාව, වැඩ නොකිරීම, බලය අයුතු ලෙස භාවිත කිරීම වැනි කිසිම චෝදනාවක් මට එල්ල කරන්න බැහැ. බංකොළොත් දේශපාලන න්‍යාය පත්‍රයට අනුව අපි නොකළ දේවල් පිළිබඳ ඇතැමුන් එල්ල කරන චෝදනානෙ තියෙන්නේ. පසුගිය උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වූ අවස්ථාවේ ජ.වි.පෙ. වෘත්තීය සමිතියක් ප්‍රතිඵල මාරුවෙලා ආවා කියලා පට්ටපල් බොරුවක් සමාජගත කළා. එදා ඉඳන් එම වෘත්තීය සමිතිය හා නව වෘත්තීය සමිතියක් කියනවා අධ්‍යාපන ඇමැති ගෙදර පල කියල. බිත්තිවල ලියනවා අධ්‍යාපනය වනසන එස්.බි., බන්දුල ගෙදර පල කියලා. අපි දන්නේ නැති ජනතා විමුක්ති පෙරමුණක් වෘත්තීය සමිතියක් නැහැනෙ. මමත්, එස්.බි. දිසානායක ඇමැතිතුමත් මේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළෙ වැස්සකටවත් විශ්වවිද්‍යාලයට ගියෙ නැති අයට වඩා යමක් දන්නවා. 

මේ සටන් මිනීමැරුම් ගැටුම් සියල්ලෙම අපි ශිෂ්‍ය අවධියේ ඉඳලා තියෙනවා. ඒ නිසා චූටි මල්ලිලා අපිව හරියට අඳුනන්නෙ නැහැ. ඒ අයගෙ න්‍යාය පත්‍රයට අනුව අධ්‍යාපනය කරලා තමයි මේ රටේ දශක තුනක් ‍ලේවලින් උතුරෙයි දකුණෙයි ඉතිහාසය ලිව්වේ. මේ වෘත්තීය සමිති දෙකම වරප්‍රසාද ලත් ඇතිහැකි අයගෙ අධ්‍යාපනයට පහරදීමක් කරන්නෙ නැහැ. අද ඇත්ත වශයෙන්ම මේ පහරදීම කෙරෙන්නේ වරප්‍රසාදලත් අයගෙ දරුවෝ බේරා ගැනීම සඳහායි. මෙරට සාමාන්‍ය මිනිස්සුන්ට වසන් කරලා තියෙන පරම සත්‍යය තමයි සාමාන්‍ය ‍පොදු ජනයාගේ දරුවො ලබන අධ්‍යාපනයයි. ඇති හැකි අයගෙ දරුවො ලබන අධ්‍යාපනයයි. අතර තිබෙන වෙනස්කම් මොනවද කියල. ඇතිහැකි අයගෙ දරුවො පාසලකට දැමීමේ තරගයක් නැහැ. මොකද ඔවුන්ට තියෙනවා ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල්. ‍පොදු අධ්‍යාපන මූලධර්ම අනුව සාමාන්‍ය දරුවා එකේ සිට පහ දක්වා අධ්‍යාපනය ලබන්නෙ මවු භාෂාව වන සිංහල හෝ දෙමළෙන්. 

නමුත් ඇති හැකි දරුවා පළමු ශ්‍රේණියේ ඉඳලා ඉංගිරිසි. සාමාන්‍ය ජනතාවගෙ දරුවා පහ වසර ශිෂ්‍යත්වයට තරග කරනවා නමුත් අර දරුවන් එහෙම තරග කරන්නෙ නැහැ. සාමාන්‍ය දරුවා අනිවාර්ය විෂයන් හයක් හා තවත් විෂයන් තුනක් යටතේ සාමාන්‍ය පෙළට මුහුණ දෙද්දී ඇති හැකි දරුවා දහය එකොළහ පන්ති දෙකේදී භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ආර්ථික විද්‍යාව, ගණකාධිකරණය, ව්‍යාපාර පරිපාලනය වැනි විෂයන් ඉගෙන ගෙන ලන්ඩන් ඕලෙවල් විභාගයට මුහුණ දෙනවා. ඒ විභාගය අපේ විභාගයට වඩා ඉතාමත් ‍ලේසියි. නමුත් මේ විභාග දෙකේම සහතික දෙක එක සමානයි. නීතිය ඉදිරියේ අපිට ඒක තහනම් කරන්න බැහැ. ඊළඟට අපේ ළමයි උසස් පෙළ කරනවා. 

ඉන් විසිපන්දාහයි විශ්වවිද්‍යාලයට යන්නේ. අර ළමයි උසස් පෙළත් කරන්නේ නැහැ. සල්ලි තියෙන නිසා වෙන රටවල විශ්වවිද්‍යාලවලට විද්‍යායතනවලට ගිහිල්ලා තමන් කැමැති උපාධියක් අපේ ළමයින්ට වඩා අවුරුදු තුනකට කලින් ගන්නවා. මේක තමයි ඇත්ත. මේ නිසා තමයි මේ ගැන මෙරට කිසිම තැනක සංවාදයක් කරන්නේ නැත්තේ. ඇතිහැකි අයගේ ළමයින්ට අධ්‍යාපන අවස්ථා ලබා ගන්න නැති බැරි අයගෙ අධ්‍යාපනයට ගහනවා. ඒක හොඳටම තේරුම් ගත්ත රාජ්‍ය නායකයා තමයි ජනාධිපතිතුමා.  

සපිරි පාසල් දහය යටතේ පාසල්වල ප්‍රාථමික පන්ති ඉවත් කිරීමට බොහෝ ප්‍රදේශවල දෙමව්පියන්ගෙන් විරෝධයක් එල්ල වෙනවා.

 දෙමව්පියො නමෛයි අධ්‍යාපනඥයොනෙ අධ්‍යාපනය තීන්දු කරන්නෙ. දෙමව්පියො කරලා තියෙන විනාසය නිසානෙ තුන්ලක්ෂ පනස්දහසක් පළවෙනි ශ්‍රේණියට ඇතුළත් වෙලා විසි පන්දාක් පමණ විශ්වවිද්‍යාලවලට ගියාම තුන් ලක්ෂයක් විතර දරුවො දීර්ඝ කාලයක් තිස්සේ අනාථ වෙලා තියෙන්නෙ. ඒ ළමයා දෙමාපියන්ට වෛර කරන දවසට තමා දෙමාපියන්ට මේක තේරෙන්නෙ. දෙමාපියො දන්නෙ සරල මතුපිටක් පමණයි. 

දෙමාපියන්ට මේ තත්ත්වය තේරෙනවා. නිදහස් අධ්‍යාපනය මොකක්ද කියලා හරියට තේරුම් ගත්තා නම් මොකද. කන්නන්ගර මැතිතුමා කොහේවත් නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ප්‍රාථමිකයි ද්විතීකයි එකට හැදුවෙ නැහැ. ප්‍රාථමික වෙනම. මධ්‍ය විද්‍යාලවල හයෙන් ඉහළ පන්ති එම විද්‍යාල ඇතුළෙ සියලු විෂයන්ට අමතරව වඩු වැඩ, මැටි වැඩ, ලෝහ වැඩ, ඉලෙක්ටේ‍රානික් වැඩ උගන්වලා මෙය පුංචි විශ්වවිද්‍යාලයක් බවට පත්කරලා දරුවාට ජීවිතය දුන්නා. ඒක නැතිකළේ මේ රටේ කුමන්ත්‍රණකාරී බලවේග විසිනුයි. මන්ද මධ්‍ය විද්‍යාල හරහා සාමාන්‍ය මිනිසුන්ගෙ දරුවන්ටත් මේ රටේ මුල් පුටුවලට එන්න පුළුවන් වුණා. පන්තිමය වශයෙන් ඇතිහැකි අය ඔවුන්ගෙ නියෝජිතයො හා ඔවුන්ට ගැතිකම් දක්වන අයගෙ බද්ධ වෛරයක් මාත් එක්ක තියෙනවා මම සත පහකටවත් විවේචන ගනන් ගන්නෙ නැතුව මේ වෙනස් කිරීමට මැදිහත් වෙන නිසා. මම මේක පැහැදිලි කරලා කිව්වාම දෙමව්පියො පිළිගත්තා. 

හරි දේ කරන්න බය වෙන්න ඕන නැහැ. මේ රටේ ජනතාව ඉන්නෙ අපිත් එක්කයි. මැතිනියගෙ කාලෙ පාසල් රජයට පවරා ගැනීමේදී දෙමාපියො පාසල් සේරම වහලා තමයි උද්ඝෝෂණය කළේ. ඉතිහාසයේ වුණු දේවල් දන්නේ නැති අයට මේවා ලොකු ප්‍රශ්න වුණාට නියම ප්‍රශ්නය වෙන්නේ අධ්‍යාපනය මෙම වෙනසට පරිවර්තනය කර ගැනීමයි. මන්ද මනුස්ස ජීවිත නරාවළට යවලා අපරාධකරුවන් බිහි කරනවා වෙනුවට රටට වැඩදායක මානව ප්‍රාග්ධනයක් බිහි කිරීමයි මේ අධ්‍යාපන වෙනසින් අපි සිදු කරන්නේ.  

ප්‍රශ්න පත්‍රය හෝ ප්‍රශ්න විභාගයට කලින් පිටවීම ප්‍රධාන විභාගයක් ඉවර වූ පසු එන ප්‍රශ්නයක්. එහි ආසන්නතම සිදුවීම පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවීම. මේ තත්ත්වය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද? 

රේගුව තියෙද්දී බඩු හොරෙන් ගේනවා. ‍පොලීසිය ඉද්දී මිනී මරනවා, කුඩු විකුණනවා, ප්‍රශ්න පත්‍රයක් හොරකම් කරනවා කියන්නෙ මේ රටේ වෙන්න පුළුවන් එක සිද්ධියක්. ප්‍රශ්න පත්‍ර ක්‍රියාවලියට පුද්ගලයන් තිස්දාහක් විතර සම්බන්ධ වෙනවා. ඒ සියල්ලටම සාධු චරිත නැහැනෙ. ඉතිහාසයෙත් ප්‍රශ්න පත්‍ර ‍ලේන්සුවෙ ගහගෙන ගිහිල්ලා තියෙනවා. මේ හේතු නිසා මේ රටේ නැවත විභාග තිබ්බ වාර ගණන අනන්තයි අප්‍රමාණයි. මේ ඉතිහාසයේ පළමු වතාව නොවෙයි. අදාළ සේවකයාට අපි අකුරටම නීතිය ක්‍රියාත්මක කරලා තියෙන්නෙ. තියෙන අඩුපාඩු බලලා කමිටු පත්කරලා මේවා වළක්වා ගැනීමට ක්‍රමවේද හදනවා. මම මීට කලින් නීතියක් ගේන්න හැදුවා විභාග පවත්වන්න සතියකට කලින් කිසිම සම්මන්ත්‍රණයක් සාකච්ඡාවක්, වැඩමුළුවක් ඉගැන්වීමක් කරන්න බැහැ කියලා.

 නමුත් ඒ අවස්ථාවේ අධ්‍යාපන උපදේශක සභාව ඒකට විරුද්ධ වුණා. ඒක කරලා තිබුණානම් මේ සිද්ධිය වෙන්නේ නැහැ. නමුත් දැන් අධ්‍යාපන කාරක සභාව මට අනුමැතිය දීලා තියෙනවා ඒ සඳහා අධ්‍යාපන පනත අනුව නියෝගයක් නිකුත් කරන්න.  

රජයේ පාසල්වලට රජයෙන් යටිතල පහසුකම් සංවර්ධනයට විශාල මුදලක් වැය කරනවා. නමුත් බොහෝ පාසල්වල නව වාරයේදී විවිධ සංවර්ධන කටයුතු සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කරනවා. 

පාසල සම්පූර්ණයෙන්ම රජයේ හෝ පළාත් සභාවේ හෝ මුදල්වලින් දුවන්න පුළුවන් කියලා අපි හිතුවොත් ඒ පාසල් ඇල් මැරුනු පාසල් බවට පත්වෙනවා. රජයම සල්ලි දීලා පාසල් හදන්න හිටියානම් මේ පාසල් ගොඩනැගිලිවලින් භාගයක් නැහැ. මේවායේ යථාර්ථ තත්ත්වය අපි තේරුම් ගත යුතුයි. නමුත් බලකිරීමෙන් බලහත්කාරයෙන් හෝ ශිෂ්‍යයන්ට අනිවාර්ය කිරීමෙන් මුදල් පාසල්වලට අය කිරීම නැවැත්වීමට චක්‍ර‍ලේඛයක් සකස් කරනවා. 

මෙවැනි චෝදනාවක් ලැබුණු වහාම වැරදිකරු යැයි සැක කරන පාර්ශ්වයේ වැඩ තහනමකට ලක් කරලා ඊට පසු වැඩිපුර විභාගයක් පවත්වන්න හැකි වන ආකාරයට විධි විධාන යොදනවා. 

පාසල් දරුවන් විභාගයෙන් අසමත් වුවත් ගුරුවරු හෝ විදුහල්පති දඬුවම් කළත් ප්‍රේම සම්බන්ධතාවයක් බිඳුනත් එයට දෙමාපියන් අවවාද කළත් සියදිවි නසා ගන්නා තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. මෙයට විසඳුම් ලෙස මානසික උපදේශනය වැනි ක්‍රමයක් පාසල තුළ ඇතිකළ යුතුයි නේද? 

 අවශ්‍යයෙන්ම. මුළු මහත් සමාජ පද්ධතියෙම කඩා වැටීමක් තියෙනවා. මත්ද්‍රව්‍ය සහ අසභ්‍ය තාක්ෂණික උපකරණ වසංගතයක් ලෙස පාසල් දරුවන් වෙලාගෙන අවසන්. ඒවා දෙමාපියෝ දන්නෙත් නැහැ. තේරුම් ගන්නෙත් නැහැ. තේරුම ගන්න උත්සාහ කරන්නෙත් නැහැ. පාසලක පරමාර්ථය විභාගය පාස් කරන එක නමෛයි. දරුවාට ජීවිතය දීමයි. අපි පසුගියදා මේ පිළිබඳව සම්පූර්ණ වැඩමුළුවක් පැවැත්වූවා. ඉතාම ඉක්මනින් මේ දරුවන්ට තියෙන ප්‍රශ්නවලට උපදේශාත්මක සේවාවක් සපයලා. ජීවිතයේ අභියෝගවලට ඔවුන්ට මුහුණ දීමේ හැකියාව ලබා දෙනවා. 

දරුවන් තුළ මේ තත්ත්වය ඇතිවීමට හේතුවක් නේද? පාසල් විෂය නිර්දේශ තුළ හෝ ඉන් බැහැරව නිවැරදි ලිංගික අධ්‍යාපනය දරුවන්ට නොලැබිම?
 ඒක එකම හේතුව නමෛයි. මෙය හේතු රාශියක ප්‍රතිඵලයක්. ඊට වඩා හේතුවක් එහෙම නම් මිශ්‍ර පාසල් ඇති නොකිරීම. මිශ්‍ර පාසල්වල දරුවන්ට විශාල ලෙස ලිංගික කරුණු පිළිබඳ මහා කුහුලක් ඇතිවෙන්නෙ නැහැ. මධ්‍ය විද්‍යාල සියල්ල මිශ්‍ර පාසල්, මධ්‍ය විද්‍යාලවලින් බිහිවූ අය සියල්ල සාර්ථක පවුල් ජීවිත ගතකරන ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන අය. ඒ නිසා මේ ඔක්කෝටම මුල කන්නන්ගර මැතිතුමාගේ මධ්‍ය විද්‍යාල සංකල්පය විනාශ කිරීමයි.  

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ගෙන් සියයට අටක ප්‍රතිශතයක් තමා පෙනී සිටි සියලු විෂයන්ගෙන් අසමත් කියලා ඔබ ප්‍රකාශ කර තිබුණා. සියලු ප්‍රධාන විභාගයන්හිදී මෙම තත්ත්වය ඇති වෙනවා. මේ දරුවන්ට ඉන් පස්සේ මොකද වෙන්නේ?
  මේ දරුවො අදක්ෂ දරුවො නොවෙයි. සාමාන්‍ය පෙළ සමත් දරුවොයි. විෂයන් තුනම අසමත් වෙනවා කියන්නෙ ඒ කාලය තුළදී ඔවුන් ඇත්ත වශයෙන්ම අධ්‍යාපනය ලබලා නැහැ.

 ඒ කියන්නෙ ඔවුන් පාසලට එනවා කියලා ගෙදරින් ආවාට බොහෝවිට ඒ කාලය තුළ පාසලට ඇවිත් නැති වෙන්න පුළුවන්. වෙන වෙන දේවල්වල ගොදුරු බවට පත්වෙලා වෙන්න පුළුවන්. අධ්‍යාපනය ගැන කලකිරීම් ඇතිවුණු අය වෙන්න පුළුවන්. විවිධ හේතු තියෙනවා. දැන් මේ සියල්ල නිවැරදි කරන්න වෙනවා. දාසය දාහක් විතර කියන්නෙ මනුස්ස ජීවිතනෙ. ඒ නිසා දැන් අපි අලුතින් විවිධ පාඨමාලා පාසල තුළ හදාරන්න මෙම මහින්දෝදය විද්‍යාගාර හරහා අලුත් තාක්ෂණික විෂය ධාරාවක් හඳුන්වා දෙනවා. ගණිතය සාමාන්‍යයෙන් සමත් වුවත් අනිත් ඕනෑම විෂයන් තුනකට සම්මාන තිබුණොත් උසස් පෙළට මෙම තාක්ෂණික විෂය හැදෑරිය හැකියි. මේ වර්ෂය තුළ එය හඳුන්වා දෙනවා. 

 සාකච්ඡා කළේ : අචලා ධර්මසේන

Gossip Lanka Hot News Previous News Archive