ශී‍්‍ර.ල.නි.ප ජාතික සංවිධායක ධූරය ඇමති බැසිල් රාජපක්ෂට - Basil Rajapaksa appointed SLFP national organizer

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ලෙස එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයෙකු සහ මුල් පෙළේ නියමුවෙකු වන ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පත් කිරීමට ශී‍්‍රලනිප මධ්‍යම කාරක සභාව අද (27) රාතී‍්‍ර තීරණය කළේය. 

ශී‍්‍රලනිප මධ්‍යම කාරක සභාව මෙම තීරණය ඒකමතිකව ගනු ලැබුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද සවස අරලියගහ මන්දිරයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදීය. හිටපු අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේ මහතාගේ අභාවප‍්‍රාප්ත වීමෙන් ශී‍්‍රලනිප ජාතික සංවිධායක තනතුර පුරප්පාඩුව පැවතිණි. 70 දශකයේ ශී‍්‍රලනිප කි‍්‍රයාකාරිකයෙකු වශයෙන් එක්වූ බැසිල් රාජපක්ෂ මහතා පක්ෂයේ තරුණ සම්මේලනයේ සභාපතිවරයා වශයෙන්ද ශී‍්‍රලනිප සහකාර ලේකම්වරයෙකු වශයෙන්ද කලක් කටයුතු කළේය.

 13වන පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරයෙකු වශයෙන් මුල්වරට පාර්ලිමේන්තුවට පිවිසි හෙතෙම 2010 අපේ‍්‍රල් මහ මැතිවරණයේදී ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් තරග කරමින් ඡන්ද 425,861ක වාර්තාගත ජයග‍්‍රහණයක් ලැබීය. එය එම මහ මැතිවරණයේදී ශී‍්‍ර ලංකාවේ ඡන්ද අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාවද විය. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වූ බැසිල් රාජපක්ෂ මහතා තිදරු පියෙකි. ඔහුගේ පියා හිටපු කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යවරයෙකු වූ ඩී. ඒ. රාජපක්ෂ මහතා විය. බිරිඳ පුෂ්පා රාජපක්ෂ මහත්මිය වෘත්තියෙන් නීතිඥවරියකි. ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකයෙකු වශයෙන් කටයුතු කරන හෙතෙම රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා පිළිබඳව ප‍්‍රවීණයෙකි.

Gossip Lanka Hot News Previous News Archive