සාමණේර හිමිගේ අත් පා බැඳ කටේ පාන්කඩ ඔබා පහර දෙති

මහරගම පමුණුව ධර්ම ශ්‍රී වර්ධනාරාමයේ ‍පොඩි හාමුදුරුවන් වහන්සේ නමකට පෙරේදා (10) රාත්‍රී 10.30ට පමණ කිසියම් පුද්ගලයන් සතර දෙනකු විසින් කටේ පාන්කඩ ඔබා අත්පා ගැටගසා පහරදී, විහාරස්ථානයේ ධාතු මන්දිරය අසල දමා සිටියදී ප්‍රදේශයේ දායකයන් විසින් සොයාගෙන තිබේ.

 හිමිනම එදින රාත්‍රියේම ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇත. මේ පිළිබඳව කළ විමසීමකදී එම විහාරස්ථානයේ විහාරාධිපති කෝට්ටේ ඥානාරාම හිමියෝ මෙසේ පැවැසූහ. එවෙ‍ලේ මම පන්ස‍ලේ හිටියේ නැහැ. මගේ පියාගේ පින්කම ගැන වැඩකටයුතුවලට මගේ නිවසට ගොස් සිටියේ. මට පණිවුඩයක් ආවා ‍පොඩි හාමුදුරුවන්ට කරදරයක් වෙලා කියලා. මම නැවත පන්සලට වැඩියා. අහලපහළ සිටි දායකයෙකු කෙඳිරිලි ශබ්දයක් ඇසී ධාතු මන්දිරය ළඟ වැටී සිටින ‍පොඩි හාමුදුරුවන්ව දැක වහා ඝණ්ඨාව නාද කර ප්‍රදේශවාසීන් කැඳවා ඇති බවත් එවිට මා දැනගත්තා. වහාම ‍පොඩි හාමුදුරුවන්ව ජයවර්ධනපුර රෝහලට ගෙන ගියා. එවිට රාත්‍රී 12.00ට පමණ වෙලා. එවෙ‍ලේ මහරගම ‍පොලීසියෙනුත් විහාරස්ථානයට වහා පැමිණියා.


 පන්ස‍ලේ කිසි දෙයක් නැතිවී නැහැ. අලාභහානිවී නැහැ. ‍පොඩි හාමුදුරුවන්ගේ බෙල්‍ලේ සහ අත්වල තැලීම් සහ තුවාල තිබුණා යැයි විහාරාධිපති හිමියෝ පැවැසූහ. අවු 16ක් වන මෙම ‍පොඩි හාමුදුරුවන් උඩහමුල්ල පිරිවෙනේ අධ්‍යාපනය ලබමින් සිටී. හිමිනමට ධාතු මන්දිරය දෙසින් ශබ්දයක් ඇසී ඇත්තේ වැසිකිළි යාම සඳහා පිටතට පැමිණි අවස්ථාවේදීය. එක්වරම අයෙකු පැන තමා අල්ලා ගත් බවත් නායක හාමුදුරුන් කෝ කියා ඇසූ බවත් ‍පොලීසියට නොකියන ලෙස තර්ජනය කළ බවත් තම බෙල්ලට ගැසූ පහරට තමාට සිහිකල්පනාව නැතිවූ බවත් උන්වහන්සේ පවසා ඇත. මහරගම ‍පොලීසියේ වැඩබලන ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක සුජීව සොයිසා මහතාද මහරගම පරිසර ආරක්ෂණ සහකාර ‍පොලිස් අධිකාරී විජිත ගුණරත්න මහතාද විමර්ශන කටයුතු සඳහා විහාරස්ථානයට පැමිණ සිටියහ. රාත්‍රියේ සැකපිට පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත් මේ පිළිබඳ වහා පරීක්ෂණ කටයුතු දැනටමත් කෙරීගෙන යන බවත් ඔවුහු අප හා පැවැසූහ.

මහරගම පමුණුව ධර්ම ශ්‍රී වර්ධනාරාමයේ ‍පොඩි හාමුදුරුවන් වහන්සේ නමකට තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු ඊයේ (11) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අතිරේක මහේස්ත්‍රාත්තුමිය වන අරුණි ආටිගල මහත්මිය විසින් ඔවුන් මෙම මස 20 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය. පෙරේදා (10) රාත්‍රී අත්අඩංගුවට පත් මෙම සැකකරුවන් දෙදෙනා මහරගම ‍පොලීසිය මගින් පසුදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝගය මත රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. මෙසේ හිමි නමගේ අතපය බැඳ තුවාල කිරීම සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ එම සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. සිද්ධිය සම්බන්ධව මහරගම ‍පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලැබේ.

මහරගම - ශිරෝමි රාජපක්ෂ
 ලක්බිම පුවත්

Gossip Lanka Hot News Previous News Archive