''ලංකා කැරට්'' නමින් නව කැරට් ප‍්‍රභේදයක්

බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ දිගු කාලීන අභිජනන පර්යේෂණවල ප‍්‍රතිඵලයක් ලෙස ''ලංකා කැරට්'' නමින් කැරට් ප‍්‍රභේදයක් සොයා ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම ප‍්‍රභේදය 2010 ප‍්‍රභේද නිදහස් කිරීමේ කමිටුව විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප‍්‍රභේදයක් ලෙස නිර්දේශ කර ඇත. ලංකා කැරට් ප‍්‍රභේදය දේශීයව බීජ නිෂ්පාදනය කළ හැකි අතර කැරට් බෝගයට වැළදෙන පත‍්‍ර අංගමාරයට ප‍්‍රතිරෝධීතාවක් දක්වයි. අධික වර්ෂා කාලයක් වුවද කිසිම රසායනික දිලීර නාශකයක් යෙදීමකින් තොරව වගා කිරීමේ හැකියාවක් ඇත.

ලංකා කැරට් බීජ නිෂ්පාදනයේදී නියමිත අභිජනන ක‍්‍රමවේදයක් භාවිත කිරීම වඩා වැදගත්ය. බීජ වපුරා ලැබෙන කැරට් අල නියමිත ප‍්‍රමීතින් අනුව තෝරා නැවත ක්ෂේත‍්‍රයේ සිටුවීමෙන් බීජ ලබා ගත හැකිය. නියමිත පාලක තත්ත්ව යටතේ හොඳ බීජ අස්වැන්නක් ලබා ගත හැකි අතර පර්යේෂණ ආයතනයේ අත්දැකීම් අනුව එක ශාකයකින් බීජ ග‍්‍රෑම් 30-50ක ප‍්‍රමාණයක් ලබා ගැනීමට හැකිය.

ලංකා කැරට් ප‍්‍රභේදයේ අලවල පැහැය තරමක් අඩු වන අතර පෝෂණීය අගයෙන් කිසිම අඩුවක් නැත. අධික වර්ෂා කාලයේදී පවා ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකියාවක් ඇති නිසාම රසායනික දිලීර නාශකවලින් තොර වගාවක් පහසුවෙන් පවත්වා ගත හැකිය. දේශිය අඩු ආදායම්ලාභීන්ගේ විටමින් ඌනතාව අවම කිරීම සඳහා සුදුසු වූ ප‍්‍රභේදයක් ලෙස මෙම කැරට් ප‍්‍රභේදය ප‍්‍රචලිත කළ හැකිය. ගෙවතු සහ කාබනික වගාවට වඩාත් යෝග්‍ය ප‍්‍රභේදයක් ලෙස හඳුන්වාදිය හැකිය.

Gossip Lanka Hot News Previous News Archive