මාතලේ සමූහ මිනීවලේ සැකකරුවෝ 'ආණ්ඩුවේ ඉහල තැන්වල'

ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) සැක කරන පරිදි මාතලේ සමූහ මිනීවලේ ඇත්තේ තමන් රට පාලනය කළ සමයේ මරා දැමූවන් නම් එවකට පළාතේ හමුදා කඳවුරක් භාරව සිටි නිලධාරියකු මහින්ද රාජපක්ෂ රජයේ ඉහල තැනක සිටින බව එක්සත් ජාතික පක්ෂය (එජාප) ප්‍රකාශ කරයි.

එහෙත් හමුදා කඳවුර භාරව සිටි එම නිලධාරියා කවුදැයි එක්සත් ජාතික පක්ෂය හෙළි කළේ නැහැ.මෙම මළ සිරුරු 80 ව දශකයේ අග භාගයේ "භීෂණ සමයේ" දී ඝාතනය කෙරුණු පුද්ගලයන් බවයි, ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ.කෙසේ වුවත් නිසි පරීක්ෂණයකින් තොරව එවැනි කාල වකවානු නීර්ණය කිරීම නොකළ යුත්තක් බවයි, එජාප මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සංජීව කවිරත්න කොළඹ දී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ.දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් එවැනි චෝදනා එල්ල කරන බවට ද ඔහු ජවිපෙ ට චෝදනා කරයි.


සමූහ මිනීවල
"විශේෂයෙන් 1947 වර්ෂයේත්, 1955 වර්ෂයේත් මේ ප්‍රදේශවල ඇතිවුණු නාය යාම් තත්ත්වයන්, ඒ වගේම වසූරිය වගේ තත්ත්වයන් මේ ස්ථානය උපයෝගී කරගෙන තිබෙන බවට සැක සංකා තියෙනවා," යනුවෙන් ද මන්ත්‍රීවරයා පැවසීය.අදාළ වකවානුවේ දී ශ්‍රී ලංකාවේ පාලනය හෙබවූ එජාපයේ මෙම ප්‍රතිචාරය පිලිබඳව තමන් පුදුම නොවන බව එයට ප්‍රතිචාරය පළ කරන ජවිපෙ ප්‍රකාශ කරයි.

"සූරියවැවේදි, එලියකන්දේදි, දිවුලපිටියේදි සමූහ මිනී වලවල් ගොඩ ගත්තා, එම මිනී වලවල්වල කාල වකවානු 88-89 බව ඉතාමත් පැහැදිලි ලෙස තහවුරු වී තිබෙනවා," යන්න අනුර කුමාර දිසානායක ජවිපෙ මන්ත්‍රීවරයාගේ ප්‍රතිචාරයයි.
මේ අතර අදහස් දැක්වූ මාතලේ අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර අජිත් ජයසේන මාතලේ රෝහල සමීපයෙන් හමුවූ සමූහ මිනීවල අපරාධ ස්ථානයක් බව තමන් අධිකරණයට දැනුම් දී තිබෙන බව පැවසීය.

එහිදී සොයා ගත් ඇට සැකිලිවල තුවාල සහ කැඩුම් බිඳුම් තිබුණු බව පවසන වෛද්‍ය ජයසේන, ඔවුන් මරා දමා ඇති බවක් එයින් ගම්‍ය වන බව ද පවසයි.

"සමහර කට්ටිය වසූරිය කියල කිවුවා, නාය යාම් කියල කිවුවා. මේක අපරාධ ස්ථානයක්, සඟවා වලලා දාපු ස්ථානයක් ඒ නිසා මේ ගැන පරීක්ෂණ කරන්න ඕන කියන එක මම මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නා," බව ද වෛද්‍යවරයා පැවසීය.කැනීම් ආරම්භ වූ පසුගිය නොවැම්බරයේ සිට මේ වන විට හමුවූ හිස් කබල් සංඛ්‍යාව 100 කට ආසන්න බව ද කැනීම් භාරව කටයුතු කරන වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන පවසයි.
 බීබීසී සංදේශය

Gossip Lanka Hot News Previous News Archive