කැලණි පාලම යට සංජීවනීට නව නිවෙසක්

උසස් පෙළ “ඒ” සාමර්ථ්‍ය 3ක් ලබාගත් කැලණි පාලම යට සංජීවනී ශිෂ්‍යාවට ජනසෙවණින් නව නිවසක් ලබා දීමට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා තීරණය කරයි.

2012 වර්ෂයේ උසස් පෙළ වාණිජ අංශයෙන් “ඒ” සමාර්ථ 3 ක් ලබාගෙන සරසවි වරම් ලැබූ නව කැලණි පාලම අසල සේදවත්තේ පදිංචි සංජීවනී ප්‍රියදර්ශනී ශිෂ්‍යාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනසෙවණ නිවාස වැඩසටහන යටතේ නව නිවසක් ලබාඉ දීමට තීරණය කෙරිණි. සංජීවනී ප්‍රියදර්ශනී ශිෂ්‍යාව ඇතුළු ඇයගේ පවුලේ සාමාජිකයන් අමාත්‍යාංශයේ දී පසුගිය දා හමු වූ අවස්ථාවේ දී ඇමැතිවරයා මේ තීරණය දැනුම් දී තිබේ.

මේ අනුව සංජීවනී ශිෂ්‍යාවට බොරැල්ලේ පිහිටි නව නිවස ඇමැතිවරයා අතින් ලබන සතියේ දී බාරදීමට නියමිතයි.
බොරැල්ල රත්නාවලී බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සංජීවනී සිසුවිය පදිංචිව සිටින්නේ වැල්ලම්පිටිය, සේදවත්ත, නව කැලණි පාලම පාර 72 / 20, සී 1 දරන ස්ථානයේ පිහිටි තාවකාලික නිවසකය. අඩු පහසුකම් ජනාවාසයක පිහිටි මෙම තාවකාලික නිවසෙහි ජීවත්වීමට කිසිඳු පහසුකමක් නැත. කුඩා වැස්සකින් වුවද නිවසට වතුර ගලාගෙන එන අතර වහලේ බොහෝ ස්ථානවලින් වැසි වතුර නිවසට කාන්දු වේ. අවට පවතින ඝෝෂාකාරී තත්ත්වය හා දැඩි අනාරක්ෂිත බව අධ්‍යාපන කටයුතුවලට තබා ජීවත්වීමට දහිතකර නොවේ.

සංජීවනීගේ පියා වන ජගත් කුමාර මහතා කුලී වැඩ කරන අතර මව සුනේත්‍රා රූපසිංහ මහත්මිය පිළිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර ගනිමින් සිටී. සංජීවනීට බාල සොහොයුරන් දෙදෙනකු ද සිටින අතර ඔවුහු අධ්‍යාපනය හදාරති. මේ හේතුවෙන් සංජීවනීගේ පවුල දැඩි ආර්ථික දුෂ්කරතාවලට මෙන්ම අභියෝග රැසකටද මුහුණ දී සිටී.

2011 වසරේ පළමුවර උසස් පෙළ විභාගයට මුහුණ දීමට ආසන්නව සිටිය දීත් හදිසි ගංවතුරකට මුහුණදීමට ඇයට සිදුවුණි. සිය පොත් පත් බේරා ගැනීමට මහා වතුර කඳ සමඟ පොර බදමින් කළ සටන අවසානයේ දරුණු ලෙස රෝගාතුර වී මාස තුනක් රෝහල් ගත්වී සිටීමට ඇයට සිදු විය. ඒ නිසාම එවර උසස් පෙළ විභාගයට සාර්ථකව මුහුණ දීමට අපොහොසත් වුවත් “බී” සාමාර්ථයන් 2 ක් “සී” සාමාර්ථයක් සමඟ එම කඩඉම ජය ගැනීමට ඇය සමත් වූවාය. නමුත් සරසවි වරම් ලැබීමට එය ප්‍රමාණවත් නොවීය. 2012 වසරේ යළිත් කලින් තිබූ බාධක සියල්ල මධ්‍යයේ උසස් පෙළ විභාගයට මුහුණදීමට ඇය තීරණය කළාය. ඇය මෙවර උසස් පෙළ විභාගයේ වාණිජ අංශයෙන් “ඒ” සාමාර්ථයන් තුනක් ලබා සරසවි වරම් ලබා ගත්තාය.











-සබැදි පුවත්- 


Gossip Lanka Hot News Previous News Archive