මෙරට පාලකයන් අධිරාජ්‍යවාදී වේදිකාවල හිඳිමින් අධිරාජ්‍යවාදයට හුරේ දමමින් කරත්තේ බැඳි ගොනා වගේ අධිරාජ්‍ය කියන පැත්තට යහමින් බර අදිමින් සිටින්නේ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව පැවසූවේ ඊයේ (19) කොළඹ 07, ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවති ජාතික විද්වත්-වෘත්තික සංසදය විසින් සිදුකරන ලද අපෙන් කොල්ලකන අපේ ඛනිජ සම්පත්’ පොත එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමිණි.
ජාතික විද්වත් වෘත්තික සංසදයේ සභාපති මහාචාර්ය චන්දන අබේරත්න මහතා, ලේකම් ආචාර්ය රොහාන් ප‍්‍රනාන්දු මහතා, භූ විද්‍යාඥ ඇන්ටන් ජයකොඩි මහතා, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම මහතා, අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු පූජ්‍ය දඹර අමිල හිමි යන අයගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවේදී පූජ්‍ය ඳඹර අමිල ස්වාමීන් වහන්සේ දැක්වූ සම්පූර්ණ අදහස් සහ පහත පළ වේ.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු පූජ්‍ය දඹර අමිල හිමියෝ...
"අපේ රට සියලුම සම්පත්වලින්, වටිනා දේපලවලින් පරිපූර්ණවූ රටක්. අපේ රට අතීතයේ සාපේක්ෂව ගත්තාම ස්වර්ණමය අවදීන් කිහිපයක් හඳුනාගන්න පුළුවන්කම තිබෙනවා. ඉතාම ස්වල්ප අවස්ථාවන් කිහිපයක්. ඒ හැම ස්වර්ණමය අවස්ථාවක්ම උදාවුණේ රට සතු සම්පත් රට පාලනය කළ වගකිවයුත්තන් විසින් රටේ සංවර්ධනයට නිසි අයුරින්, දියුණු ලෙස කළමනාකරණය කළ නිසයි. එනම් අපේ රටේ මානව සම්පත සහ භෞතික සම්පත නිසි කළමනාකාරිත්වයක් තිබුණ නිසයි.
මේ පොළොවේ ඕනෑම දෙයක් සිටුවුවහොත් හොදින් පැලවෙනවා. කොළඹ, කිලිනොච්චිය, ගාල්ල, මාතර, හම්බන්තොට යන කොහේ ගියත් සිටුවන හැමදෙයක්ම පැළවෙන සරුසාර පොළොවක් අප රට සතුයි. සමනළ කන්දෙන් පැන නගින සියගණනක් ගංගාවල්වලින් අපේ මේ මහ පොළව තෙත් කරමින් සරුසාර කරමින් ගලා යනවා. එමගින් සරු ඵලදාවක් අපට අත්පත් කර දෙන සියලු සැපසම්පත්වලින් ආඩ්‍ය රටක් ලෙස අපේ රට හඳුනාගන්න පුළුවන්. මිනිස් සමාජයට ඉතාමත් උචිත දේශගුණික, කාළගුණික වෙනස්කම් තිබෙනවා. කෘෂිකර්මාන්තය දියුණු කිරීමට වැව් තිස්දාහක් පමණ ගොඩනැගූ රටක්. තුන්වේල කාලා ඕන නම් තවත් තුන්වේලක් කන්න පුළුවන් විදියේ අස්වැන්නක් ලබපු රටක්. පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරය ලෙස නම් පටබැඳුනේ ඒ තරම් අස්වැන්නකින් අපේ රට පොසත් වුණු නිසයි. එම ස්වාභාවික සැපසම්පත්වලින් සරු ඵලදාව ලබන්න ඒ දේවල් නිසි අයුරින් කළමනාකරණය කරන්න හැකිවුණු මුතුන්මිත්තන් පිරිසක් අපේ රටේ ජීවත් වුණා.
ඒ වගේම තමයි අපේ රට විදේශීය ආක‍්‍රමණවලින් බැටකෑවා; ආක‍්‍රමණවලට ලක්වුණා. අපේ රටේ වටිනා සම්පත් කොල්ලකෑමට ලක්වුණා. ඒ වගේම ඊට එරෙහිව නිදහස් අරගල ව්‍යාපාරයකුත් අපට තිබුණා. 1818 සුද්දට එරෙහිව සටන් කළා. සුද්දා එළවලා දැම්මා. නූතන අධිරාජ්‍යවාදයත් අපේ රටට ඇතුල්වීමට අටවන උපාය උපක‍්‍රම ගැඹුරින් තේරුම් ගැනීම ඉතාම වැදගත්. ඒ කුප‍්‍රකට අරමුණුවලට එරෙහිව අවබෝධයෙන් කි‍්‍රයාමාර්ගවලට තල්ලු විය යුතුයි. තම තම නැණ පමණින් අපේ යුගයේ කර්යභාරය ඉටුකළ යුතුයි.
ඒ නිසා අද මේ එළිදක්වන ජාතික විද්වත්-වෘත්තික සංසදයේ ‘අපෙන් කොල්ල කන අපේ ඛනිජ සම්පත්’ කෘතිය හැරවුම් ලක්ෂයක්, රැඩිකල් ඉදිරිපත් කිරීමක් වන්නේ ඉහත කී කරුණුවලට යටත්වයි. මෙම කෘතිය එළිදැක්වීම තලියේ කිඹුල්ලු දැකීමක් වගේ ඉක්මනින් කරන දේකුත් නෙවෙයි. ඒ වගේම අශ්වයා ගියාට පසු ඉස්තාලය වහනවා වගේ ප‍්‍රමාද වෙලා කරන කටයුත්තකුත් නෙවෙයි. ඉතාමත්ම උචිත වෙලාවක තමයි මෙම කෘතිය දොරට වඩින්නේ. අපේ රටේ ඛනිජ සම්පත් ජාතික ආර්ථිකයට යොදා ගන්නේ කෙසේද? එය රටට විදේශ විනිමය රැස්කිරීමට කළමනාකරණය කරගන්නේ කෙසේද? ඒ නිසි අයුරින් රැකගන්නේ කෙසේද? කියන මූලාශ‍්‍රවලින් මෙම පොත සම්පාදනය වී තිබෙනවා.
අධිරාජ්‍යවාදීන්, නූතන යටත්විජිතවාදීන් තමන්ගේ කාමසුඛල්ලිකානු ජීවිතය තව තවත් නඩත්තු කිරීම සඳහා සම්පත් සොයාගෙන අනෙක් රටවල්වලට මැදිහත් කිරීම් සිදුකරනවා. ඒ වෙනුවෙන් ඒ ඒ රටවල තමන්ගේ පදයට නටන පාලක පැලැන්තියක් නඩත්තු කරනවා. ණය ආධාර ලබාදීලා ඔවුන් හීලෑ කරගන්නවා. මේ අධිරාජ්‍යවාදයට නැවතීමේ ලකුණක් නැහැ.
අධිරාජ්‍යවාදීන්ගේ ව්‍යාපෘති හමාරයි කියලා අපට අත්බැඳගෙන ඉන්න පුළුවන්කමක් නැහැ. අපේ රටේ ගොන්තකතීරු පාලකයින් අපේ රටට ඇතුල් වෙන්න අධිරාජ්‍යවාදීන්ට අවස්ථාව හදලා දෙනවා. අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කිරීම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම, මාධ්‍ය නිදහස නැතිකිරීම වැනි දේ පදනම් කරගෙන අධිරාජ්‍යවාදීන් අපේ රටට මැදිහත්වෙන්න න්‍යාය පත‍්‍රය සකස් කරගන්නවා. රට තුළ අස්ථාවරභාවය, ජාතීන් අතර අසමගිය වර්ධනය කරනවා.
අපට මතුපිටින් පේන්න තිබෙන්නේ මේ පාලනය අධිරාජ්‍යවාදයට විරුද්ධයි වගේ. නමුත් එහෙම නැහැ. අධිරාජ්‍යවාදයේ න්‍යාය පත‍්‍රය වෙනදටත් වඩා හොඳට කි‍්‍රයාත්මක වෙනවා. ඒ නිසා තමයි ජී.එල්. පීරිස් ඉන්දියාවට ගිහින් 13 ව්‍යවස්ථා සංශෝධනය කි‍්‍රයාත්මක කිරීමට සැදීපැහැදී සිටිනවා කියලා දණ නමස්කාර කරන්නේ. අපේ රටේ පාලකයෝ හරියට කරත්තේ බැඳි ගොනා වගෙයි. හොඳට බර අදිනවා. අධිරාජ්‍ය කියන පැත්තට යනවා. අධිරාජ්‍යවාදය සමග හැපෙන්නේ නැහැ. කියුබාව, ඉරානය සෑබෑ ලෙසම අධිරාජ්‍යවාදය සමග හැපෙනවා. බාගෙට හැපුන ඉරාකය, ලිබියාව සුන්නද්දූලි කරලා දැම්මා. ඒ රටවල් කුඩුපට්ටම් කරලා දැම්මා. අපේ රටේ පාලකයන් හැම බල්ලටම එන්න පුළුවන් විදියට දොර විවෘත කරලා තිබෙනවා.
අපේ රටේ සම්පත් ටික ඕන විදියට විකුණනවා. විදුලි බලාගාර ටික ඕන විදියට විදේශිකයින්ට පවරලා දෙනවා. ණය උගුලේ අපිව හිර කරලා සියලු සංවර්ධන ව්‍යාපෘති ටික අත්පත් කරගන්නවා. කොතලහිඹුටු ගසේ සිට සියලුම සම්පත් අත්පත් කරගන්නවා. අධිරාජ්‍යවාදයට මේ තරම් සම්පත් ප‍්‍රමාණයක් ප‍්‍රධානය කරපු නායකයෙක් ලංකාවේ තවත් නැහැ. එදිනෙදා ජීවත්වීම සඳහා සියලු දේ විකුණාදමමින් ඉන්නවා. අපේ රටේ ඉඩම් ටික, ජලාශ ටික, ජලය, ඛනිජ සම්පත් හරාම් වෙන්න ඕනෑ. ඒ කියන්නේ විකුණන්න සුදුසු නැහැ. නමුත් ඒ සියල්ල දැන් හලාල් වෙලා තිබෙන්නේ. (විකුණන්න සුදුසුකම් ලබලා) ඇත්තටම හලාල් වෙලා තිබෙන්නේ අපේ රටේ ඉඩම් ඇතුළු සම්පත් ටිකයි. දැන් කට්ටියක් වෙන මොකක්දෝ හලාල් එකක් ගැන දොඩවනවා. ඒ නිසා අපි හරාම්. විරුද්ධ විය යුත්තේ ඉඩම් ටික විදේශිකයන්ට දෙන එකටයි. සිංහල, දෙමළ, මුස්ලිම් අපි සියලු දෙනා ඇත්ත හරාම් සහ හලාල් හඳුනාගත යුතුයි. මේ පොතෙන් කියා දෙනවා සිංහල, දෙමළ, මුස්ලිම් සියල්ලටම අපේ රටේ කොතරම් සම්පත් ප‍්‍රමාණයක් තිබෙනවාදය කියලා. ඒ සම්පත් අධිරාජ්‍යවාදීන් පික්පොකට් ගහනවා කියලා අනතුරු ඇඟවීමක් කරනවා. එනිසා මෙම පොත අධිරාජ්‍යවිරෝධී ව්‍යාපාරය තුළ අගනා මෙහෙයක් ඉටුකරන බව සැකයක් නැතිව කියන්න පුළුවන්කම තිබෙනවා.
ඒ නිසා අධිරාජ්‍යවාදයට එරෙහිවත්, ඔවුන්ට මනෝමූලිකව, විෂයමූලිකව ඉඩ ප‍්‍රස්ථා නිර්මාණය කර දෙන අධරාජ්‍යගැති පාලනයටත් එරෙහිව අපට නිර්දය විවේචනයක් තිබෙනවා. ඒ දෙදෙනාම අපේ සතුරන් ලෙස තමයි අපි කල්පනා කළ යුත්තේ. ඊට එරෙහිව සටන් කිරීම ඒ විතරක් නෙවෙයි සැබෑ නිදහස් නිවහල්, සාධාරණ සමාජයක් ගොඩ නැගීම තමයි අපි නියෝජනය කරන අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ අරමුණ. ඒ අරමුණ සමග ජාතික විද්වත්-වෘත්තික සංසදයත් අද තමන්ගේ යුතුකම ඉටුකරලා තිබෙනවා.
1818දීත් සුද්දට එරෙහිව සටන් කළා. සුද්දා පලවා හැරියා නමුත් අපට නිදහස හිමිවූයේ නැහැ. නිදහස් නිවහල් සාධාරණ සමාජයක් අපි දිනාගත්තේ නැහැ. ඒ නිසා අධිරාජ්‍යවාදයට නිර්දය ලෙස පහරදිය යුතුයි. ආගමික මතවාදය සේවය කරන්නේද ඒ අධිරාජ්‍යවාදයටම තමයි. මහරගමදී මුළු දුන්නේ එවැනි ව්‍යාපෘතියක්. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන් ඉටුකරමින් ඉන්නේ අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවයි. අපි ජාතික හෙළ උරුමය එනකොට ඒ අනතුරු ඇඟවීම කළා. අද ඒක ඔප්පු කරලා තිබෙනවා. භික්ෂු ශාසනය බේදභින්න කළා. බෞද්ධ සමාජය බෙදාවෙන් කළා. එදා අධිරාජ්‍යවිරෝධී සටනට විශාල බාධාවක් කළා. දැන් එන්නේ ඒ කි‍්‍රයාවේම දෙවැනි ඉණිමයි. කිසිදු වෙනසක් නැහැ. අපි බලමු ඔවුන් අධිරාජ්‍යවාදීන්ට එරෙහි පෙරමුණක් වෙයිද කියලා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර සමගිය, සහයෝගය ගොඩනගයිද කියලා බලමු.
අධිරාජ්‍යවාදයේ බලපෑම් තියුණු වූ මොහොතේ එය අතික‍්‍රමණය කළ යුත්තේ ඊනියා දේශපේ‍්‍රමයක් ගැන දොඩවමින් නොවේ. අධිරාජ්‍යවාදයේ කි‍්‍රයාකාරිත්වය ගැඹුරින් තේරුම්ගැනීම තමයි අපට තිබෙන අභියෝගය. අධිරාජ්‍යවාදීන් නිර්මාණය කරන වේදිකාවල හිඳිමින් ඊට හුරේ දැමීම මහා අඥාණකමක්. ඛනිජ සම්පත් කොල්ල කෑම පමණක් නොවෙයි දේශපාලන ක්ෂේත‍්‍රයේ, ආර්ථික, සමාජයීය, සංස්කෘතික ක්ෂේත‍්‍රයේ අධිරාජ්‍යවාදී මැදිහත්වීම පිළිබඳ විග‍්‍රහයක් දැන් සමාජය ඉල්ලා සිටිනවා. ඒ පිළිබඳ සංවාදයක් මතුකළ යුතුයි. ඒ සඳහා අලුත් වේදිකාවන් නිර්මාණය කළ යුතුයි. පරණ පන්නයේ උපක‍්‍රම ඉවත දමලා අලුත් දේ සොයාගෙන යා යුතුයි. එනිසා මේ පාලකයින්ගෙන් නව සමාජයක් බලාපොරොත්තු නොවී නම සමාජයක් ගොඩනැගීමට අධිරාජ්‍යවාදයට එරෙහිව සියලු දේශමාමක ජනතාව පෙළගැසිය යුතුයි."