මෙවර නිකුත් වූ අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව විභාගය අසමත් වූවන්ගේ අනාගතය පිළිබඳ වගකීම භාර ගැනීමට තමන් සූදානම් යැයි යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඇමැතිවරයා එසේ කීවේ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති ආයතන ප්‍රධානීන්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.විභාගය අසමත් වූවන් පිළිබඳ කිසිවකුත් කතා නොකරන්නේ යැයි කී ඇමැතිවරයා ඔවුන් විභාගය අසමත් වුවද ජීවිතය අසමත්ව නැතැයි කීය.
සාම්ප්‍රදායික උපාධිය ලබාගැනීමෙන් පසු ලිප්ටන් වටරවුමේ හෝ පිටකොටුවේ දුම්රියපොළ ඉදිරිපිට මාර්ගය පැදකුණු කරන අයද සිටින්නේ යැයි පැවැසූ ඇමැතිවරයා මෙසේද කීය.මෙවර උසස් පෙළ ප්‍රතිඵල අනුව වැඩිම සමතුන් සහ අසමතුන් ඉන්නේ දකුණු පළාතේ. මේක කාටවත් විග්රහ කරන්න බැරි මට්ටමක අපූරු සිදුවීමක්. මෙවර විභාගය සමත් වූ ප්‍රමාණය සියයට හැටතුනයි. අසමතුන්ගේ ප්‍රමාණය සියයට තිස්හතයි. එයින් සියයට 8.83ක් දකුණු පළාතේ.
“හැම අවුරුද්දකම පළමු පන්තියට ලක්ෂ 3ක් පමණ දරුවන් ඇතුළත් වෙනවා. එහෙත් උසස් පෙළ සමත්වන දරුවන්ගෙන් විශ්වවිද්‍යාලයට ඉල්ලුම් කරන්න සුදුසුකම් ලබාගන්නෙ 40,000ත් 50,000ත් අතර සංඛ්‍යාවක්. එයින් 22,000ත් පමණ පිරිසක් පමණයි අපේ රටේ සාම්ප්‍රදායික විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් කරගන්නෙ. තවත් 9000ක පමණ පිරිසක් විදේශීය විශ්වවිද්‍යාලවලට යනවා. හැම අවුරුද්දකම 2,70,000ක පමණ පිරිසක් රැකියා විරහිත කුලකයට එකතු වෙනවා. මේ පිරිසේ අනාගතය සාර්ථක කිරීමේ වගකීමයි මගේ අමාත්‍යංශයට පැවරිලා තියෙන්නේ.”
ජාතික වෘත්තීය සුදුසුකම් ජාලය හරහා ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලා සඳහා යුනිවර්සිටි කොලීජි 25ක් ස්ථාපිත කර ඇතැයි කී ඇමැතිවරයා මෙසේද කීය.
“මෙවර නිකුත් වූ උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව සියලුම විෂයයන් අසමත් අයගේ ප්‍රමාණය 16,538යි. මේ සියලු දෙනාට මම ආරාධනා කරනවා මගේ අමාත්‍යංශය සමඟ එකතු වන හැටියට. මා තමන්ගේ පියා හැටියට සලකන්න කියලා මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා”