අම්මා ආදරේ නෑ කියා දුව වහ බී මැරිලා

අම්මයි තාත්තයි රණ්ඩු වෙන නිසාත්, නංගී ගැන සොයා නොබලන නිසාත් සිත් වේදනාවට පත්ව නංගී විස රසායනික දියරයක් පානය කොට මිය යන්ට ඇතැයි හිතනවා යැයි විස රසායනික දියරයක් පානය කිරීමෙන් මිය ගිය 22 හැවිරිදි තරුණියකගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් තිස් දෙහැවිරිදි කංකානම් පණ්ඩිතගේ චමින්ද නමැති අය පැවැසීය.

මාතර වල්ගම උතුර පදිංචි විසි දෙහැවිරිදි කංකානම් පණ්ඩිතගේ චන්ද්‍රිකා ජයන්ති නමැත්තිය මෙසේ මියගොස් ඇත. මාතර හදිසි මරණ පරීක්ෂක ලලිත් ද සිල්වා මහතා මාතර රෝහලේදී මෙම මරණ පරීක්ෂණය සිදු කෙළේය. මියගොස් ඇත්තේ මගේ නංගී මම විවාහකයි. අම්මා තාත්තා සහ අවිවාහක නංගී පදිංචි අපගේ මහගෙදර අසලම වෙනම නිවෙසක පදිචිව සිටියා. මා දන්නා තරමට නංගීට බරපතළ අසනීපයක් තිබුණේ නැහැ. මාතර නගරයේ වෙළෙඳ සලක වෙළෙඳ සේවිකාවක් ලෙස රැකියාව කොට දැනට මාස තුනකට පමණ ඉහතදී ඇය රැකියාවට නොගොස් නිවෙසේ නතරව සිටියා.


2013 පෙබරවාරි මස 12 වැනිදා. පෙරවරු දහයට පමණ මම මහ ගෙදර සිටිද්දී නංගී සාලයේ පුටුවක වාඩිවී සිටියා. මම ද වාඩි වී රූපවාහිනිය බලමින් සිටියා. එවිට නංගී නැගිට නිවෙස තුළට ගොස් ටික වේලාවකින් කට දෙපැත්තෙන් සුදු පැහැති ද්‍රව්‍යයක් බේරෙමින් සාලයට පැමිණ මට කිව්වා මම වස බිව්වා කියලා. අම්මා ආදරය නැති නිසා මම වස බිව්වා කියලා කිව්වා. මම නංගී අල්ලා ගෙන මිදුලේ වාඩිකොට තාත්තා වැඩකළ තැනට ගොස් පවසා තාත්තා ද කැඳවා ගෙන පැමිණ ත්‍රිරෝද රථයකින් නංගිව මාතර රෝහලට ගෙන ආවා.

අංක 26 වාට්ටුවේ නංගි ප්‍රතිකාර ගත්තා. අම්මා ඇය ළඟ නතර වුණා. 2013 පෙබරවාරි 13 වැනි දා ඇය මියගිය බවට දැන ගත්තා. මම හිතනවා අම්මා, තාත්තා රණ්ඩු වෙන නිසාත් නංගී ගැන සොයා නොබලන නිසාත් මේ අයුරින් විස රසායනික දියරයක් පානය කරන්නට ඇතැයි කියා.

පින්නගොඩගේ මාලනී, කේ.පී. පේමසිරි ද සාක්ෂි දුනි. පශ්චාත් මරණ පරීක්ෂණය වෛද්‍ය කේ.අයි. පද්මතිලක මහතා විසින් පවත්වන ලදී. මාතර පොලිසියේ පොලිස් සැරයන් සරත් 25036 මහතා සාක්ෂි මෙහෙය වීය.

Gossip Lanka Hot News Previous News Archive