වීරවංශ ඇමතිවරයා කියනවා ආර්ථික ඝාතකයන් ගැන. අපි කියන්නේ මේ මුළු කැබිනට් මණ්ඩලයම සහ නිලධාරී තන්ත්රයම ආර්ථික ඝාතකයන් ... දැන් මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ රටේ තිබෙන ආර්ථික බිඳ වැටීම වසං කරලා, බොරු අධිරාජ්‍ය විරෝධයක් පෙන්වන්න. ජනතාවට කියනවා, අධිරාජ්‍ය විරෝධී වීම සඳහා බඩගින්නේ ඉන්න. අධිරාජ්‍ය විරෝධී වීම සඳහා ආණ්ඩුව කරන පැහැර ගැනීම්, ඝාතනය කිරීම්, ප්රජාතන්ත්රවාදය උල්ලංඝනය කිරීම් දරාගෙන ඉන්න කියලා. යැයි පුබුදු ජයගොඩ මහතා පැවැසීය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඊයේ (18) මාධ්‍ය හමුවක් සංවිධානය කරන ලදි. පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති එම මාධ්‍ය හමුවට ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ සම ලේකම් රංජිත් පියතිලක මහතා සහභාගි වූහ.
මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මහතා මෙසේ ද පැවසීය.
‘‘පසුගිය වසර තුනක කාලය තුළ ජී. එස්. පී. ප්ලස් සහනය අහිමි වීම නිසා ඇඟලුම් කර්මාන්ත ශාලා 186ක් වැසී ගොස් සේවකයින් 2,17,000කට රැකියා අහිමි වී තිබෙනවා කියලා පුවත්පත් වාර්තා කර තිබෙනවා. දැන් ආණ්ඩුව කියනවා ජී. එස්. පී. ප්ලස් අවශ්‍ය නෑ, අධිරාජ්‍යවාදීන්ගේ කොන්දේසි පිළිගන්නේ නෑ කියලා. ඒ වගේම ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලු ණය ලබා දීම මූල්‍ය අරමුදල ප්‍රතික්ෂේප කළාට පස්සේ දැන් ආණ්ඩුවේ ඇමතිවරු සහ මහ බැංකු අධිපතිවරයා කියනවා, කොන්දේසි මත දෙන ණය ඕන නෑ, මූල්‍ය අරමුදලෙන් ණය ගන්නේ නෑ කියලා. මේ කතාව ඇහුවාම මතක් වෙන්නේ අර මිදි කඩා ගන්න බැරි වුණාම මිදි තිත්තයි කියූ නරියා ගැන තියෙන ජනකතාව.
ජී. එස්. පී. බදු සහනය සහ ජී. එස්. පී. ප්ලස් කියන්නේ දෙකක්. ජී. එස්.පී කියන්නේ වෙළඳ වරණයන් පිළිබඳ පොදු නියාමය. මේක පටන් ගත්තේ 1968 දී වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනාවකට අනුව. 1974 දී පමණ සිට මේ සහනය ලංකාවට හිමි වුණා. ජී. එස්. පී. ප්ලස් කියන්නේ විශේෂ ප්රතිලාභ ලබා දීමක්. 2004 සුනාමියෙන් පසුවයි එය පටන් ගත්තේ. මේ යටතේ 12.5%ක තීරු බදු සහන යටතේ භාණ්ඩ අපනයනය කරන්න හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට මේ නිසා විශාල වාසියක් ලැබී තිබෙනවා. ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිතව පවුල් ලක්ෂ 10ක් පමණ ඍජුව සහ වක්‍රව ජීවිකාව පවත්වාගෙන යනවා.
දැන් ආණ්ඩුව කියන්නේ විවිධ කොන්දේසි මත ජී. එස්. පී. ප්ලස් ගන්නේ නැහැ කියලා. මොනවද මේ කොන්දේසි.
ඇත්තටම මේවා කොන්දේසි නොවෙයි. ලංකාව මෙම සහනය ලබා ගන්න එක්සත් ජාතීන්ගේ ප්රඥප්ති 27කට අත්සන් කළා. ඒ අත්සන් කළ ප්රඥප්ති රට තුළ ක්‍රියාත්මක කළ යුතුයි. ඇමරිකාව ලංකාවට ජී. එස්. පී. ප්ලස් බදු සහනය දීම ප්‍රතික්ෂේප කළේ ලංකාව ජාත්‍යන්තර කම්කරු නීති පිළිපැද්දේ නැති නිසා. යුරෝපා සංගමය ප්‍රතික්ෂේප කළේ යහපාලනයට අදාළ ගැටළු ගණනාවක් නිසා. මේක අධිරාජ්‍යවාදී බලපෑමක් කියලා කියන එක හරියට උගත් පාඩම් කොමිසමේ වාර්තාව වගේ. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා කමිටුවක් පත් කරනවා කිව්වාම, ආණ්ඩුව කිව්වා, නෑ අපි එකක් පත් කරනවා කියලා. ඒ අනුවයි උගත් පාඩම් හා ප්රතිසංන්ධාන කොමිෂන් සභාව පිහිටෙව්වේ. ඊට පස්සේ ඒ කොමිසම නිර්දේශ ඉදිරිපත් කළා. ආණ්ඩුව ඒක තමන්ගේ වාර්තාව විදියට ඉදිරිපත් කළා. එතකොට ඒක අධිරාජ්‍යවාදී බලපෑමක් නොවෙයි. ආණ්ඩුව අත්සන් කළ ප්රඥප්ති ක්‍රියාත්මක කරන්න කියලයි මේ ඉල්ලීම තියෙන්නේ.
ආණ්ඩුව ක්‍රියාත්මක නොකරන්නේ කම්කරුවන්ගේ අයිතිවාසිකම්වලට අදාළ, ජනතාවගේ අයිතිවාසිකම්වලට අදාළ, ප්රජාතන්ත්රවාදය සම්බන්ධ කරුණු. නමුත් අධිරාජ්‍යවාදීන්ගේ දේශපාලන, ආර්ථික කොන්දේසි කිසිම පැකිළීමකින් තොරව ක්‍රියාත්මක කරනවා. අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න උත්සාහ කරන්නේ, ජල සම්පත පෞද්ගලීකරණය කරන්න අවශ්‍ය නීති සම්පාදනය කරන්නේ, ඊනියා පෞද්ගලික අංශයේ විශ්‍රම වැටුප් පනත ගේන්නේ මූල්‍ය අරමුදල ඇතුළු අධිරාජ්‍යවාදීන්ගේ කොන්දේසි මත. ඒවාට කියන්නේ නෑ කොන්දේසි කියලා.
ඇමරිකාව, යුරෝපා සංගමයේ රටවල ජනතාවගේ යහපාලනය සහ මානව හිමිකම්වලට අදාළ සම්ප්‍රදායන් තිබෙනවා. ඒ රටවල මානව හිමිකම් ජාලය ශක්තිමත්. ඒ නිසා මානව හිමිකම් උල්ලංඝනය කරන, කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කරන රටවලට සහන දෙන්න එපා කියලා ඔවුන් තමන්ගේ රටවල ආණ්ඩුවලට බලපෑම් කරනවා. ඔලිම්පික් තරගයට සහභාගි වන්නන්ගේ නිල ඇඳුමකට අදාළ කෝටා එකක් ලංකාවට අහිමි වුණේ ආණ්ඩුව ජාත්‍යන්තර කම්කරු ප්රඥප්තියට අදාළ කරුණු පිළිනොපැදීම නිසා.
ආණ්ඩුව මූල්‍ය අරමුදලේ ණය ගන්නේ නැහැ කියන අතරේ වැඩි පොලියට වාණිජ්‍ය බැංකුවලින් ණය ගනිමින් ඉන්නවා. ජනාධිපතිවරයා අය වැය වාර්තාව ඉදිරිපත් කරමින් කිව්වා අය වැය හිඟය රුපියල් බිලියන 507ක්, එය පියවා ගන්නේ ණයවලින් කියලා. එහෙම නම් ණය ගන්නේ නැතිව කොහොමද ආණ්ඩුව මේ අය වැය හිඟය පියවා ගන්නේ. දැන් වැඩි පොලියට වානිජ්‍ය බැංකුවලින් ණය ගනිමින් ඉන්නවා.
ඒ අතරේ වීරවංශ ඇමතිවරයා කියනවා ආර්ථික ඝාතකයන් ගැන. අපි කියන්නේ මේ මුළු කැබිනට් මණ්ඩලයම සහ නිලධාරී තන්ත්රයම ආර්ථික ඝාතකයන්. ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය ආර්ථික ඝාතන ප්‍රතිපත්තියක්. අර කතාවක් තියෙනවානේ ජයග්‍රහණයට පියවරු සියයයි, පරාජය අවජාතකයි කියලා. යුද්ධයේ ජයග්‍රහණයට ඔය ඔක්කොම පියවරු. ඒ වගේම දැන් මේ සිදු වෙලා තියෙන ආර්ථික බිඳ වැටීමටත් සියලු දෙනා වගකිව යුතුයි.
දැන් මේ උත්සාහ කරන්නේ රටේ තිබෙන ආර්ථික බිඳ වැටීම වසං කරලා, බොරු අධිරාජ්‍ය විරෝධයක් පෙන්වන්න. ජනතාවට කියනවා, අධිරාජ්‍ය විරෝධී වීම සඳහා බඩගින්නේ ඉන්න. අධිරාජ්‍ය විරෝධී වීම සඳහා ආණ්ඩුව කරන පැහැර ගැනීම්, ඝාතනය කිරීම්, ප්රජාතන්ත්රවාදය උල්ලංඝනය කිරීම් දරාගෙන ඉන්න කියලා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේක පිටුපස තිබෙන දේශපාලනය තේරුම් ගන්න කියලා.’’