හෙරොයින් වැටලීමට යද්දී පොලීසියෙන්ම ඔත්තුව දීලා


පොලිසිය සිදු කරන වැටලීම් සම්බන්ධ තොරතුරු හෙරොයින් ජාවාරම්කරුවන්ට ලබා දී වැටලීම් රාජකාරී අඩපණ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් නිලධාරින් දෙදෙනා රුපියල් රුපියල් 5000 බැගින් වූ මුදල් හා ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (14) නියම කළේය.

මෙසේ ඇප මත මුදා හැරියේ කිරුළපන පොලිසි‍යේ පොලිස් කොස්තාපල් (84209) කලංචිගේ දිනේෂ් අබේසුන්දර හා සැරයන් (49804)කුඩාමුහන්දිරම්ගේ නිහාල් වික්‍රමසුරිය යන අයයි.ඇප මත මුදා හළ සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනාට සෑම ඉරුදිනකම කිරුළපන පොලිසියට වාර්තා කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.

කිරුළපන පොලිසියේ පොලිස් පරික්ෂක දේවදාසන් මහතා මෙම සිද්ධියේ පැමිණිලිකරු වේ.

පොලිස් පරික්ෂකවරයා හා තවත් නිලධාරින් පිරිසක් සමග කිරුළපන පුර්වාරාම පාරේ වැටලීම් රාජකාරියේ නිරත වූ බවත් කිරුළපන උද්‍යානය අසල ජංගම දුරකථනයක් අතැති පුද්ගලයකු සැකලෙස හැසුරුණු අතර ඔහු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔහුගේ දුරකථනයට "ඔන්න අපේ දෙවදාස් මහත්තයා සමඟ ටීම් එකක් ආවා." යනුවෙන් කිහිපවරක් ඇමතුම් ලැබුණු බවට පැමිණිල්ලේ සදහන් වේ. එකි දුරකථන අංක සම්බන්ධයෙන් දුරකථන සමාගම් ඔස්සේ පරික්ෂණ පැවැත්වූ පොලිසියට එකි දුරකථන අංක මෙම සැකකාර පොලිස් නිලධාරින්ගේ බවට තහවුරුවීමෙන් අනතුරුව ඔහුන් අත්අඩංගුවට ගෙන අධිරණයට ඊයේ (14) ඉදිරිපත් කර තිබිණ.

හෙට්ටිආරච්චිගේ සජිත් සම්පත් දුෂාන්ත නැමැති පුද්ගලයා සතුව තිබී ජංගම දුරකථනය අත්අඩංගුවට ගෙන පරික්ෂණ පැවැත්වු බව අධිකරණයට දැන්වු පොලිසිය ඔහු හෙරොයින් සම්බන්ධ නඩු කිහිපයකටම ඇප මත සිටින පුද්ගලයකු බවට කරුණු දැන්විය.පොලිස් විෂ ද්‍රව්‍ය වැටලීම් කිරීමට අපහසුතා හා බාධා වන පරිදි පොලිසියේ දෙදෙනකු ආධාර හා අනුබල දීම යන චෝදනා යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට අපේක්ෂා කරන බව පැවසීය.
 දිනමිණ

Gossip Lanka Hot News Previous News Archive