බුද්ධ ප්‍රතිමා හෝ වෙනත් ශාස්තෘවරුන්ගේ ප්‍රතිමා අලෙවිය හෝ ප්‍රදර්ශනය තහනම් කරමින් කිසිඳු නීතියක් පනවා නැතැයි ඉරානය පවසනවා. එවැනි නීතියක් සම්බන්ධයෙන් ඊයේ පළවු වාර්තා කරුණු වරදවා දැක්විමක් බවයි එරට සංස්කෘතික ආරක්ෂණ මූලස්ථානයේ ලේකම් සයිඞ් ජබීර් අන්සාරි මහතා පැවසුවේ. තමන් විසින් මීට ඉහත දී ප්‍රකාශ කළේ සංස්කෘතික අනන්‍යතාවක් ද සහිත නිර්මාණ නීති විරෝධිව ආනයනය කිරීම සහ සංස්කෘතික රීතින් උල්ලංගණය කිරිම් තහනම් කළ යුතු බව යැයි ද ඔහු කියා සිටියා. එසේනොමැතිව නිත්‍යනුකූලව සිදුකෙරෙන ආනයනයන්, අලෙවිකිරීම් හෝ ප්‍රදර්ශනයන් තහනම් කළ යුතු බවක් ඉන් අදහස් නොකළ බවයි අවධාරණය කෙරුණේ. ඉරානය කිසිඳු විටක වෙනත් ආගමකට අගෞරව කිරීම අනුමත නොකරන බව ද අවධාරණය කෙරුණා.
කෙසේ වෙතත් කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලය අසල උද්ඝෝෂණයත නිරත වු ගිහි පැවිදි පිරිසක් අද උදෑසන කියා සිටියේ බෞද්ධ අයිතීන් අභියෝගයට ලක්ව තිබෙන බවයි. බුද්ධ ප්‍රතිමා අලෙවිය සහ ප්‍රදර්ශනය තහනම් කරමින් පනවනු ලැබු නීතිය වහාම ඉවත් කරන්නැයි ඉරාන ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද ඔවුන් කියා සිටියා.
බුද්ධ ප්‍රතිමා අලෙවිය සහ ප්‍රදර්ශනය තහනම් කරමින් ඉරානය විසින් පනවනු ලැබු බව කියන නීතිය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට බොදුබල සේනා සංවිධානය ද අද මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා.