ලුණුගම්වෙහෙර විද්‍යාගවේෂි පිරිවනේ ඇති කරන මුවෙකු ඇනීමෙන් බරපතල තුවාල ලැබූ සාමනේර හිමිනමක් අද (20) පස්වරුවේ දී ලුණුගම්වෙහෙර රෝහලේ දී අපවත් වූහ.
මෙම සිද්ධියෙන් අපවත් වූයේ ඇතිලිවැව පේමානන්ද නැමැති 17 හැවිරිදි සාමනේර හිමි නමයි. උන්වහන්සේ තිස්සමහාරාමයේ පන්නගමුව,දියබැඳිය පුරාණ විහාරයේ වැඩ වාසය කරමින් සිට ඇත. අධ්‍යාපන කටයුතු සඳහා පැමිණෙන්නේ ලුණුගම්වෙහෙර විද්‍යාගවේෂි පිරිවනටය. සුපුරුදු පරිදි අද (20) සවස උන්වහන්සේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිවන වෙත පැමිණ ඇත. පිරිවෙන් බිමේදී මෙම මුවා උන්වහන්සේගේ ඇඟට පැන ඇත. මෙම මුවා හොඳින් වැඩුණ සතෙකි. අං තට්ටුවක් ද වැඩී ඇත. මීට පෙරත් මෙම සතා පිරිවනට එන සාමනේර හිමිවරුන් සහ පුද්ගලයන් පසුපස පන්නන බව දැන ගන්නට ලැබිණ. සාමනේර හිමිගේ සිරුරට මුවා පැනීමත් සමග උගේ අඟක් හිමියන්ගේ ගෙළේ තදින් වැදී ඇත.
ඉන් උන්වහන්සේ බරපතල තුවාල ලබා ඇති අතර ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී උන්වහන්සේ අපවත් වී ඇත. සිද්ධිය පිළිබඳ ලුණුගම්වෙහෙර පොලිසිය පරීක්ෂණ පවත්වයි. මෙම මුවා දැනට පිරවෙන් බිමේ ගසක ගැට ගසා සිටින අතර පොලිසිය විසින් සතා අත්අඩංගුවට ගැනීමට නියමිතය. අනතුරුව වනජීවි නිලධාරින්ට භාර දීමට නියමිත බව දැන ගන්නට තිබේ.