පානදුරේ නිවසකින් එකම පවුලේ තිදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

පානදුර, සාගර මාවතේ අංක 20 දරණ නිවසේ තිබී එකම පවුලේ මව, පියා හා මාස 8 ක් වයසැති බිළිඳියකගේ මළසිරුරු හමුවී තිබේ. අද (28) පෙරවරුවේ මෙම මළ සිරුරු හමුවූ බව පානදුර දකුණු පොලීසිය පවසයි.
 ප්‍රදේශයේ නිවසකින් දුගඳක් හමන බවට 119 හදිසි දුරකතන අංකයට ලැබුණු තොරතුරකට අනුව පානදුර දකුණු පොලීසිය විසින් එම මළසිරුරු සොයාගෙන ඇත. නිවසට ගොස් පොලීසිය පරීක්ෂා කිරීමේ දී නිවසේ හිමිකරු සාලයේ බාල්කයක එල්ලී සියදිවි නසා ගෙන ඇති ආකාරයක් දක්නට ලැඛෙන බව පොලීසිය පවසයි. එසේම ඔහුගේ බිරිඳ බවට සැලකෙන කාන්තාව පුටුවක් මත හිඳගෙන සිටින අයුරින් ද කුඩා දැරිය මෙට්ටයක් මත ද මියගොස් සිටින බව පොලීසිය කියයි. එම මළ සිරුරු ඉදිමී ඇති බවත් එම ස්ථානයේ රුධිරය දක්නට තිබූ බවත් ඒ අනුව දින 2 තුනකට පෙර මෙම මරණ සිදුවන්නට ඇතැයි සැක කරන බවත් පොලීසිය පවසයි. මේ සම්බන්ධයෙන් පානදුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Gossip Lanka Hot News Previous News Archive