එල්ටීටීඊයට එරෙහි යුද්ධය පැවති සමයේ සහ ඉන් අනතුරුවත් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් දෙමළ ජාතික රැඳවියන් දූෂණය කොට ඇති බවත් ඔවුන්ට වධ බන්ධන පමුණුවා ඇති බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.එල්ටීටීඊ යට එරෙහිව යුද්ධය පැවති සමයේ දෙමළ රැඳවියන් දූෂණය කිරීම සහ ඔවුන්ට ලිංගික අතවර කිරීම යුද උපායයක් වශයෙන් භාවිත කළ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා, යුද්ධය හමාර වීමෙන් අනතුරුවත් දිගටම එවැනි අපරාධවල යෙදුනු බවයි, වාර්තාවේ සඳහන් වෙන්නේ.
2006 සිට 2012 වසර දක්වා කාලය ඇතුලත ලිංගික අතවරයට ලක් වූ කාන්තාවන් සහ පුරුෂයන් 75 දෙනෙකුගේ සාක්ෂි ඇසුරින් මේ වාර්තාව සැකසුනු බවයි, හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ බ්‍රිතාන්‍ය ශාඛාවේ අධ්යක්ෂ ඩේවිඩ් මෙපැම් කියා සිටියේ.
චෝදනා කිරීමත් 'අපරාධයක්'
දූෂණයට සහ ලිංගික අතවරයට ලක් වූ පුද්ගලයන්ගේ සාක්ෂිවල නිරවද්‍යතාවය පිළිබඳව කිසියම්ම හෝ සැකයක් තිබුනේ නම් තමන් කිසිසේත්ම එවැනි සාක්ෂි වාර්තාවට ඇතුලත් නොකරන බව පවසන අධ්යක්ෂවරයා, මෙහිදී අවධානයට ගත යුතු ප්‍රධානම කරුණ මෙවැනි අපරාධ තවමත් සිදුවෙමින් පැවතීම බව ද සඳහන් කරයි.
ඉතාමත්ම අමානුෂික අන්දමින් දින ගණනාවක් හෝ ඇතැම් විට සති ගණනාවක් මුළුල්ලේ ආරක්ෂක හමුදා විසින් මෙම රැඳවියන් ට වධ දී තිබෙන බව වාර්තාවෙන් අනාවරණය වන බව කියා සිටි ඩේවිඩ් මෙපැම්, ඇතැම් අවස්ථාවල පුද්ගලයන් ගනනාවක්ම එක් වී ඔවුන් දූෂණය කොට තිබෙන බවත්, එමෙන්ම දුම් වැටිවලින් පිළිස්සීම, සමහරුන්ගේ ඔළුවට ප්ලාස්ටික් බෑග් දමා ඉන් අනතුරුව පෙට්‍රල් වත් කිරීම වැනි වධ බන්ධනවලට ඔවුන් ලක් කොට තිබෙන බවත් සඳහන් කළේය.