Feb122013

කැකිරාවට ටොනාඩෝවක් හේතුවෙන් බර හානි

කැකිරාව පොලිස් වසමේ ඉපලෝගම රණජයපුර ප්‍රදේශයට අද (12) දහවල් අධික සුළඟක් සමග ඇති වූ ටොනාඩෝවක් හේතුවෙන් රණජයපුර මහා විදුහලේ තෙමහල් ගොඩනැගිල්ලක පියස සම්පූර්ණයෙන්ම විනාශයට පත් වීය. ටොනාඩෝව සමග වහළයට දමා තිබූ උළු කැට සීසීකඩ විසිරෙන්නට පටන් ගෙන ඇති අතර උළු කැට වැටී ඉගෙනුම ලබමින් සිටි කුඩා සිසුන් 06 දෙනෙක් තුවාල ලැබූහ. ප්‍රදේශයේ නිවාස දහ අටකට බරපතල හානි සිදු වී එක් කාන්තාවක් සහ පිරිමින් දෙදෙනක්ද තුවාල ලබා ඇත. 

වෙළෙඳසල් 10ට බරපතල හානි සිදු වී ඇත. සමහර කඩවල වහළ සුළඟට ගැල වී ගොස් තිබේ. රණජයපුර නාවික හමුදා කඳවුරටද හානි සිදු වී තිබෙන අතර එහි තිබූ තාවකාලික ගොඩනැගිලි විනාශ වී ඇත. තුවාලකරුවන් සියලු දෙනා ප්‍රතිකාර සඳහා කැකිරාව රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නැති බවත්, සුළු තුවාල ලබා ඇති බවත් රෝහල් අධ්‍යක්ෂ විජේසූරිය මහතා පවසයි.


 උතුරුමැද පළාත් ප්‍රධාන ඇමැති එස්.එම්.රංජිත් සමරකෝන් මහතා සහ අනුරාධපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරින් සිද්ධිය වූ ස්ථානයට පැමිණ අවශ්‍ය උපදෙස් ලබා දෙමින් සිටී. මෙම ටොනාඩෝව හේතුවෙන් නිවාස දහයකට පමණ බරපතල හානි සිදු වී ඇතැයි නිල නොවන ආරංචි මාර්ග කියයි. දින දෙකක් තිස්සේ ඉතා අයහපත් කාලගුණික තත්ත්වයක් අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා පවතින බව පැවසේ.
 ලක්බිම පුවත්

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Gossip Lanka Hot News Previous News Archive