මහබැංකු අධිපතිගේ 'වැඩ' හෙළිවේ !

“ගෝල්ඩන් කී” ක්‍රෙඩිට් කාඩ් සමාගමේ කටයුතු සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති සුනිල් මෙන්ඩිස් මහතා යටතේ, ශී‍්‍ර ලංකා මහබැංකුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් සිදු කරන ලද විමර්ශන නිර්දේශ වර්තමාන මහබැංකු අධිපතිවරයා විසින් ක‍්‍රියාත්මක කර නැති බව හෙළිවේ.

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඉදිරිපත්කරන ලද දෝෂාභියෝග චෝදනා විමර්ශනය කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි තිලකවර්ධන මහත්මිය ලබාදුන් ප‍්‍රකාශයකින් මේ බව හෙළිවී ඇත.


නවදහසකට අධික මුදල් තැන්පත්කරුවන් පිරිසක් මෙම සමාගමේ මුදල් තැන්පත් කර තිබිණ. 2000 වර්ෂයේදී මෙම තැන්පත් කරුවන් විශාල පිරිසකගෙන් ශී‍්‍ර ලංකා මහබැංකුවට යොමුකර තිබු පෙත්සම් අනුව හිටපු අධිපතිවරයාගේ මෙහෙයවීමෙන් විශේෂ විමර්ශනයක් පවත්වා එහි නිර්දේශ 2006 නොවැම්බර් 24 දින භාරදී ඇත.

එම නිර්දේශවලින් ප‍්‍රකාශ කර ඇත්තේ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ කටයුතු අත්හිටුවා වැඩිදුරටත් විමර්ශන කරන ලෙසය. එහෙත් වර්තමාන මහබැංකු අධිපති අජිත් නාවාඩ් කබ්රාල් මහතා යටතේ එම නිර්දේශ ක‍්‍රියාත්මක කර නැත.

2009 වසරේ ඔක්තෝබර් මාසයේ එම සමාගම බිඳවැටිණ. මේ නිසා එම සමාගමේ මුදල් තැන්පත් කළ 9,000 කට අධික පිරිසකගේ රුපියල් කෝටි 2,600 ක් පමණ අහිමිවිය.

ශිරාණි තිලකවර්ධන මහත්මිය පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේද ලබාදුන් ප‍්‍රකාශයෙන් තහවුරු වී ඇත්තේ මහබැංකුවේ විශේෂ විමර්ශන ඒකකය ලබාදුන් නිර්දේශ ක‍්‍රියාත්මක කළේ නම් තැන්පත්කරුවන් මුදල් අහිමිවීම ඉතා අවම මට්ටමකට පත්වන බවය.

වැරදි කරන ඕනෑම පුද්ගලයකුගේ තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන බවට ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළද තැන්පත්කරුවන් 9,000ගේ රුපියල් කෝටි 2,600 පමණ මුදලක් සම්බන්ධයෙන් ලබාදුන් නිර්දේශ කි‍්‍රයාත්මක නොකිරීම සම්බන්ධයෙන් කි‍්‍රයා නොකරන්නේ මන්දැයි බරපතළ සැකයක් මතුවී තිබේ.

-ලංකා ට්රුත්

Gossip Lanka Hot News Previous News Archive