ජනවාරි 28 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද ඇමති මණ්ඩල සංශෝධනය, හිටපු විදුලිබල හා බලශක්ති ඇමති චම්පික රණවක එම ධුරයෙන් ඉවත් කිරීමේ අරමුණෙන්කරන ලද්දක් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලය හා එහි අනුබද්ධ ආයතන පෞද්ගලිකකරණය කිරීමේ වැඩපිළිවෙළට පසුගිය කාලයේ චම්පික රණවක ඇමතිවරයා තදබල ලෙස විරෝධය පෑම හේතුවෙන් ඔහු විදුලිබල ක්ෂේත්රයෙන් ඉවත් කොට තැබීමේ අවශ්‍යතාවක් ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළම නිලධාරීන්ට තිබුණු බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.
මෙම ඇමති මණ්ඩල සංශෝධනයේදී වැදගත් ලෙස පෙනුණු එකම වෙනස නම්, චම්පික රණවක හා සුසිල් පේ‍්‍රම්ජයන්ත යන ඇමතිවරුන්ගේ අමාත්‍යාංශ වෙනස් කිරීමයි. ඇමති රණවකට තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක ශක්ති ඇමති ධුරය ලැබුණු අතර නව විදුලිබල හා බලශක්ති ඇමති ලෙස පත්කැරුණේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියයි. ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය ධුරය දැරූ සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතාට පරිසර හා පුනර්ජනනීය බලශක්ති ඇමති ධුරය ලැබිණි. චම්පික රණවක ඇමතිවරයා, හිටපු ඇමති දයා වළගම්බාහුගෙන් පසු විදුලිබල මණ්ඩලය භාරව පත්වුණු විදුලි ඉංජිනේරු උපාධියක් තිබූ එකම ඇමතිවරයා ලෙස සැලකෙයි.
තමන් මුහුණ දී ඇති දැඩි ආර්ථික අර්බුදය හමුවේ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ අයිතිය සම්පූර්ණයෙන්ම චීනයේ චයිනා මිකැනිකල් ඇන්ඞ් ඉලෙක්ටි්රකල් කොම්පැණි (සිමෙක්) සමාගමට පැවරීමට ආණ්ඩුවට වුවමනා වී තිබුණු අතර, රණවක ඇමතිවරයා ඊට තදින් විරෝධය පා තිබුණි. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු හා සේවක වෘත්තීය සමිතිද ආණ්ඩුවේ එම අදහසට විරුද්ධව සිටියේය.
තමන් විසින් ලංකාවට ලබාදී තිබෙන ණය ප්‍රමාණයට හිලව් වන සේ තමන් විසින් රට තුළ ගොඩනගා තිබෙන වාණිජ ව්‍යාපෘතිවල සම්පූර්ණ අයිතිය තමන්ට ලැබිය යුතු බවට චීනය පසුගිය කාලයේ දිගින් දිගටම ශ්‍රී ලංකා රජයට බලපෑම් කොට තිබේ. ඔවුන් ඉදිකළ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ අයිතියද එලෙස ඉල්ලා ඇත. ලංකාණ්ඩුව ඊට එකඟ වුවහොත් එම චීන සමාගම නොරොච්චෝලේ බලාගාරයේ නිපදවන විදුලිබලය ඔවුන් නියම කරන මුදලකට මිලදී ගැනීමට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවෙයි. ඒ සමග ශ්‍රී ලංකාවේ විදුලිය නිෂ්පාදනයෙන් සැලකියයුතු විශාල කොටසක් පෞද්ගලික ව්‍යාපාර අතට පත්වෙයි.
ඒ අතර පසුගිය කාලයේ දිගින් දිගටම නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ඇතිවූ බිඳවැටීම්වලදීද චීනය පවසා ඇත්තේ තමන්ට එහි අයිතිය සම්පූර්ණයෙන් පැවරුවහොත් නිසි පරිදි විදුලිය ජනනය කොට ලංකාවට දෙන බවය. රණවක ඇමතිවරයා මේ අදහසට විරුද්ධ වී ඇති බවත්, ලංකාවේ සේවකයන්ට පුහුණුව ලබාදී අමතර කොටස්ද ලබාදුනහාත් එය කාර්යක්ෂමව පවත්වාගෙන යෑමට තමන්ට හැකි බව ඇමතිවරයා පැවසූ බවත් ආරංචි මාර්ග වාර්තා කරයි.
මන්නාරම, යාපනය ප්‍රදේශවල ඉදිරියේදී පිහිටුවනු ලබන සුළං විදුලි බලාගාරවල හා සාම්පූර්හි පිහිටුවනු ලබන ගල්අඟුරු බලාගාරයේ ජනනය කැරෙන විදුලිබලය රටේ ප්‍රධාන විදුලිබල පද්ධතියට එකතු කිරීමට නම් විදුලිබල සම්පේ‍්‍රෂණ (රැහැන් සහ උපාංග) පද්ධතිය ශක්තිමත් කළ යුතුව තිබේ. දැනට ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ එය කරගෙන ගියත් ඉදිරි අවශ්‍යතාවලට ලංකාණ්ඩුවට මුදල් නොමැති තත්ත්වයක් මත චීනය ඩොලර් මිලියන 500ක ණයක් ඒ සඳහා ද ලබාදීමට එකඟ වී තිබේ. එහිදීද ඔවුන්ගේ එක් කොන්දේසියක් වී ඇත්තේ පළමුව නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණයෙන් චීනයට පවරා දිය යුතු බවය. නොරොච්චෝලේ 3 වැනි අදියර ලෙස හඳුන්වා ඇති එම ව්‍යාපෘතියේ සම්පූර්ණ ඉදිකිරීම්ද තම සමාගම වෙත පවරා දියයුතු බව සිමෙක් සමාගම ලංකාවට දැනුම් දී තිබේ. එහෙත් එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් මුළුමනින්ම කිරීම විදුලිබල මණ්ඩලයට හා එහි අනුබද්ධ ආයතනවලට හැකියාව තිබෙන බව රණවක ඇමතිවරයාගේ අදහස වී තිබේ.
මේ තත්ත්වය මත ආණ්ඩුවේ පෞද්ගලිකකරණ අවශ්‍යතාවලට විරෝධය පාන චම්පික රණවක ඇමතිවරයා ඉවත්කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයාට තිබුණු බවත්, පසුගිය සඳුදා ඉටුකර ගත්තේ එම වුවමනාව බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.
නව ඇමති ධුරය භාරගන්නවාද නැද්ද යන්න ගැන ජාතික හෙළ උරුමය පක්ෂය දෙගිඩියාවක සිටියත්, පවත්නා තත්ත්වයන් යටතේ එය මේ මොහොතේ භාරගැනීමටද පක්ෂය තීරණය කළේය. කෙසේ වෙතත් මීළඟ ඇමති මණ්ඩල සංශෝධනයකදී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන්ද විදුලිබල ඇමති ධුරය ඉවත් කොට සරත් අමුණුගම මහතාට පැවරීමේ සූදානමක් තිබෙන බව වාර්තා වෙයි. අමුණුගම මහතා දිගින් දිගටම ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලිකකරණය කළ යුතුයැයි කියන ස්ථාවරයේ දැඩිව සිටි හා ඒ ගැන අදහස් පළ කළ අයෙකි.
උපුටා ගැනීම - රාවය