පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට ශ්‍රී ලංකාව සුදුසු බව ෂර්මා කීවේ නැතිලු !

පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුව මේ වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සුදුසු යැයි එහි මහලේකම් කමලේෂ් ෂර්මා මහතා පැවසු බවට මාධ්‍ය මගින් කර ඇති අනාවරණය අසත්‍ය බවත් මහලේකම්වරයා ඒ පිළිබඳ කිසිදු නිවේදනයක් හෝ නිකුත් කර නැති බවත් පොදු රාජ්‍ය මණ්ඩලය පවසයි.

කමලේෂ් ෂර්මා මහතාගේ ශ්‍රී ලංකා සංචාරය ගැන හැරුණුවිට ඒ ගැන කිසිදු නිවේදනයක් හෝ නිකුත් නොකළ බවද පොදු රාජ්‍ය මණ්ඩලයීය නිල වෙබ් අඩවියේ සඳහන්ය.එහි වැඩිදුරටත් දැක්වෙන්නේ කමලේෂ් ෂර්මා මහතාගේ ශ්‍රී ලංකා සංචාරය ගැන නිවේදනයක් හෙට (13) නිකුත් කරන බවයි.කමලේෂ් ෂර්මා මහතා ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමි‍ණියේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පැවැත්වීමට අදාළ කරුණු හා මණ්ඩලයීය රටවල් සම්බන්ධ පොදු කරුණු කිහිපයක් ගැන සාකච්ඡා කිරීම සඳහා පමණක් බවද එහි සඳහන්ය.


එසේම පොදු රාජ්‍ය මණ්ඩලයීය ප්‍රතිපත්ති මෙන්ම ස්වාධීන අධිකරණ ක්‍රියාදාමය මෙන්ම බලය බෙදීම සම්බන්ධ කරුණු ගැනද කමලේෂ් ෂර්මා ශ්‍රී ලංකා සංචාරයේදී සාකච්ඡා කිරීමට තීරණය කර තිබු බවද එහි වැඩිදුරටත් දැක්වෙයි.

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ‍ලේකම් කමලේෂ් ෂර්මා මහතා තෙදින නිල සංචාරයක් සඳහා පෙරේදා රාත්‍රී දිවයිනට පැමිණියේය.

Gossip Lanka Hot News Previous News Archive