රාජපක්ෂ රටේ ඒකාධිපතියා, රණිල් පක්ෂයේ ඒකාධිපතියා, තට්ටුමාරුවෙන් ධනවාදයේ අර්බුදවලට විසඳුම් නැහැ - ටිල්වින් සිල්වා

රාජපක්ෂ රටේ ඒකාධිපතියා බවත් රණිල් වික්‍රමසිංහ එජාපයේ ඒකාධිපතියාබවත් තට්ටුමාරු දේශපාලනයෙන් ධනවාදයේ අර්බුදයන්ට උත්තර නැතිබවත් කී ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සමාජ ක‍්‍රමයේ වෙනසක් අවශ්‍ය යැයිද රාජපක්ෂලාට එයට උත්තර නැතැයිද මේ ඛේදවාචකවලට උත්තර තිබෙන්නේ නිවැරදි දේශපාලන නායකත්වයකින් පමණක් යැයිද පැවසීය.

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසූවේ ජනතාව පෙළන පාලනයට එරෙහිව පෙළ ගැසෙමු යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ දිනවල රටපුරා පවත්වාගෙන යනු ලබන ‘ජනතා කථිකාව’ අවස්ථාවකට එක්වෙමිණි. එය ඊයේ (09) පිලියන්දල නගර මධ්‍යයේ පැවැත්විණි.


එහිදී ටිල්වින් සිල්වා මහතා දැක්වූ අදහස් පහත පළවේ.

"මැතිවරණයක් නැති මෙවැනි කාලෙක ජනතාව හමුවෙන්න ආවේ රට පත්වෙලා තිබෙන අර්බුදයන් පිළිබඳවත් එම අභියෝගයන් ජයගන්නේ කොහොමද කියලත් ඔබලා සමග කථිකාවක් කරගන්නයි. ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද කලෙට පමණක් නෙවෙයි මේ ආකාරයෙන් ජනතාව හමුවෙන්න එන්නේ. රටේ කිසියම් අර්බුදයක් හටගත් හැම මොහොතේම ජනතාව දැනුවත් කළා. මේ මොහොතේත් අපි රටපුරා ජනහමු පවත්වමින් ජනතාව දැනුවත් කරමින් යනවා.

පහුගියදා මහින්ද රාජපක්ෂ මහතා ඇතුලූ ඔහුගේ ඇමති මණ්ඩලය 65වෙනි නිදහස් දිනය ති‍්‍රකුණාමලයට ගිහින් සැමරුවා. ඒත් සුද්දා ලංකාවෙන් ගිහින් අවුරුදු 65ක් වුණත් අපේ රටේ ජනතාව නියම නිදහස සමරනවද? අපේ රටේ විශාල සමාජ, දේශපාලන, ආර්ථික අර්බුදයකට පත්වෙලා. ජනතාවගේ සැබෑ නිදහස අහිමි වෙමින් යනවා. එම නිසා පවතින දේශපාලන වටපිටාව හරියට තේරුම් ගන්න ඕනෑ.

ඔබ කවුරුත් දන්නවා පහුගිය දින කිහිපය තුළ මහින්ද රාජපක්ෂ මහත්තයා කිසිම ලැජ්ජාවක් නැතිව, සදාචාර විරෝධීව, අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු නොසලකමින් ශිරානි බණ්ඩාරනායක මහත්මිය නීති විරෝධී දෝෂාභියෝගයක් ගෙනල්ලා අගවිනිසුරු ධූරයෙන් ඉවත් කළා. ඊට පස්සේ තමන්ගේ හිතවතෙක් වුණු කැබිනට් උපදේශක තනතුරේ හිටපු මොහාන් පීරිස් අගවිනිසුරු තනතුරට ගෙනාවා. ඉන් පස්සේ අත්අඩංගුවට ගන්න අය පැය 48ක් පොලිසියේ රඳවාගන්න නීති ගෙනාවා. ආණ්ඩුව කන්න ඕන උනාම කබරගොයා තලගොයා කරගන්න නීති ගේනවා. ජනතාව මර්දනය විනා ජීවත් වෙලා ඉන්න ජනතාව ආරක්ෂා කරන්න නීති ගේන්නේ නැහැ.

ඔබ දන්නවා පහුගිය දවස්වල කතා බහට ලක්වුණා රිසානා ගැන. ඇය පාසල් යන වයසේ දැරියක්. වයස වෙනස් කරගෙන තමන්ගේ පවුල නඩත්තු කරන්න වහල් සේවයට මැදපෙරදිග ගියා. ඇය කරපු වරදක් පෙන්වලා සෞදි රජය ඇය ඝාතනයට ලක්කළා. මහින්ද රාජපක්ෂ මොකද කළේ? කිසිවක් කරන්න බැරිවුණා. අපේ රටේ විදෙස් සේවයට යන පිරිසෙන් අවුරුද්දකට 400ක් පමණ මරාදැමීම් නිසා හෝ මරණයට පත්වීම නිසා ජීවිත අහිමි කරගන්නවා. ඒ පිළිබඳ නීති රීති ගෙන්න ආණ්ඩුවට උවමනාවක් නැහැ. පාසලේ විදුහල්පති මුදල් ඉල්ලපු නිසා රුපියල් 800ක් හොයන්න පොල් ගෙඩි අටක් ඇහිඳපු දරුවෙකුට උසාවියෙන් දඩුවම් දෙන්න හදනවා. රුපියල් 800ක් හොයාගන්න බැරි පවුල් ලංකාවේ ඉන්නවා. දෙමාපියන්ට මුදල් නැති නිසා පාසල් ළමුන් එවැනි තත්වයට පත්වන්නේ මේ ආණ්ඩුවේ වැරදි නිසා නොවේද? මේවට ආණ්ඩුව වගකිව යුතු නැද්ද?

මේ ආණ්ඩුව අධ්‍යාපනයට මුදල් වෙන්කරන්නේ නැහැ. ගුරුවරුන්ට පඩි ගෙවන එක විතරයි කරන්නේ. පාසල්වල නඩත්තු කටයුතු කිසිවක් කරන්නේ නැහැ. අනෙක් සියලු කටයුතු ගුරුමණ්ඩලය විසින් කරගන්න ඕනෑ. ඉතිං විදුහල්පතිවරු ළමයින්ගෙන් මුදල් රැස් කරනවා. පාසල් ළමුන්ට පොල් ඇහිඳින්න වෙන්නේ ඒ නිසයි. දැන් කලබල වෙච්ච බන්දුල ගුණවර්ධන චක‍්‍රලේඛ ගහනවා. විදුහල්පතිවරුන්ට මුදල් එකතු කරන්න කියලා චක‍්‍රලේඛ ගැහුවෙත් ආණ්ඩුවම තමයි. අපි ආණ්ඩුවෙන් අහනවා මේ අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කළේ කොච්චරද කියලා. විශ්වවිද්‍යාල ආචාර්යවරු මුළු රටේම දරුවන් ගැන හිතලා තමයි අධ්‍යාපනයට 6%ක් ඉල්ලුවේ. ආණ්ඩුව ඒක ගැන අවධානය යොමු කළාද? නැහැ. 2012 අයවැයෙන් අධ්‍යාපනයට 1.86%යි. මේ අයවැයෙන් 1.5%යි. ජනාධිපතිගේ දවසක වියදම ලක්ෂ 200යි. පැයක වියදම ගත්තොත් ලක්ෂ 08ක් විතර වෙනවා. ඔන්න මහින්ද රාජපක්ෂගේ කෙරුවාව.

දැන් මේ ආණ්ඩුව පිස්සු කෙලිනවා. රටේ ජනතාවත් ආණ්ඩුවට හරියනවා. පිස්සු කෙළින ආණ්ඩුව දිහා සද්ද නැතුව බලාගෙන ඉන්නවා. දැන් එහෙම ඉඳලා බැහැ. යුක්තිය, නීතිය, සාධාරණත්වය ගැන හිතන්න ඕනෑ.

දැන් උසස් පෙළ ප‍්‍රතිඵල නිකුත් වෙලා තියෙනවා. ඒ ප‍්‍රතිඵලවල හොඳ නරක දෙකම තියෙනවා. එකක් තමයි විෂයන් තුනම අසමත් වෙච්ච සිසුන් 16000ක් පමණ ඉන්නවා. ඔන්න ආණ්ඩුවේ අධ්‍යාපන මට්ටම. පහසුකම් නැහැ. ළමයින්ට ඉගෙන ගන්න විදිහක් නැහැ. අනෙක් පැත්තෙන් විෂයන් 03ටම ඒ සාමාර්ථයන් ගත්ත වාණිජ විෂය ධාරාවේ සිසුන් 1000කට පමණ විශ්වවිද්‍යාලයට යන්න බැහැ. අසාර්ථක ඉසෙඞ් ක‍්‍රමය නිසා ඒ තුන ගත්ත සිසුන් ගෙදර ඉඳිද්දී "ඒ" දෙකයි "බී" එක ගත්ත සිසුන් විශ්වවිද්‍යාලයට යනවා. අද අධ්‍යාපනය පත්වෙලා තිබෙන තැන ඒකයි. අධ්‍යාපනයේ පමණක් නෙවෙයි හැම ක්ෂේත‍්‍රයකින්ම අර්බුදයන් වර්ධනය වෙමින් එනවා.

පහුගිය දවසක අපට අහන්න ලැබුණා භික්ෂුන්වහන්සේ කෙනෙක් කපා කොටා ඝාතනය කරලා කියලා. ඉඩම් ප‍්‍රශ්නයකට මේ විදියට මිනිස්සු මරලා දානවා. අපේ සමාජය කොයිතරම් පිරිහිලාද? ජනතාවගේ ජීවිතවලට කිසිදු වගකීමක් නැහැ. වටිනාකමක් හදලා නැහැ මේ සමාජ ක‍්‍රමය. ආණ්ඩුව අධිරාජ්‍ය ගැති පවුල් පාලනයක් ගෙනයමින් ඉන්නවා. මේ දේවල් ගැන කිසිදු තැකීමක් නැහැ. රටට පෙන්වනවා සංවර්ධන පම්පෝරිය. නමුත් ආර්ථිකය එන්න එන්න කඩාගෙන වැටෙනවා. සමාජය පිරිහෙමින් යනවා. මහින්ද රාජපක්ෂ තෝරාගෙන තිබෙන්නේ නිෂ්පාදන ආර්ථිකය නෙවෙයි. නිෂ්පාදනයෙන් ඉවත් වෙලා. ඉඩම් ටිකයි සම්පත් ටිකයි විදේශිකයින්ට විකුණලා දානවා. විනෝදය පදනම් කරගත් සංචාරක ආර්ථිකයක් ගැන කතා කරමින් ඉන්නවා. වැදගත් සංචාරක ආර්ථිකයක් නෙවෙයි මේ හදන්න යන්නේ. ආණ්ඩුවේ ප‍්‍රධාන අරමුණ විනෝද ආර්ථිකයක්. ලංකාවේ ස්වභාව සෞන්ධර්ය නරඹන්න නෙවෙයි දැන් සුද්දෝ එන්නේ. එස් තුනේ සංකල්පයට කරන සංචාරක ව්‍යාපෘතියක් මේ. සී (මුහුදු වෙරළ) සන් (හිරු එළිය) සෙක්ස් (ගණිකාවන්) හොයාගෙන තමයි දැන් සුද්දෝ ලංකාවට එන්නේ. ඒ නිසා තමයි දැන් ආණ්ඩුව කැසිනෝ නීති ගත කළේ. ලැම්බෝගිණි රේස් පදින්න බදු නිදහස් කළේ. ඒ වගේම ගමයි ගණිකාවන් ආනයනය කරන්නේ.

මහින්ද රාජපක්ෂලා කියන සංචාරක කර්මාන්තය ඔය තරම් දියුණු සුන්දර එකක් නෙවෙයි. සංචාරක විසා අරගත්තු ඉන්දියානුවෝ ඇවිත් නැගෙනහිර පලාතේ ගොයම් කපනවා. සමහර සුද්දෝ අයන් එක රත්කරලා රොටී පුච්චන් කනවා. බිත්තර ඔම්ලට් දාගන්නවා. මංකොල්ලකාරයෝ එන්නෙත් සංචාරක වීසා අරගෙන. ආණ්ඩුව ගණන් හදලා පෙන්නවා සංචාරකයෝ මේච්චරයි කියලා. මේ කරන්නේ බොරුවක්. මේ විදියට සංචාරක කර්මාන්තය දියුණු කරන්න බැහැ. සංචාරක හෝටල් හදනවා කියලා ගෝල්ඞ් පේෂ් ඉඳලා නැගෙනහිරට යනකල් වටිනා ඉඩම් ටික විදෙස් කොම්පැනිවලට දුන්නා. වටිනා දූපත් ටික බහුජාතික සමාගම්වලට දුන්නා. ගොවි ජනතාවට වගාකරන්න තියෙන ඉඩම් ටික සී ප්ලේන් බාන්න යොදාගන්නවා. කෘෂිකර්මාන්තය කඩාවැටිලා. ආදායම් උපයන්නේ නැහැ. සෝබන වැඩ පමණයි.


කෝටි ගණන් ණය අරගෙන හදපු කිසිදු ව්‍යාපෘතියකින් මුදල් උපයන්නේ නැහැ. නොරොච්චෝලේ විදුලි බලාගාරය, හම්බන්තොට වරාය, අධිවේගී මාර්ගය මේ කිසිදු දෙයකින් මුදල් උපයන්නේ නැහැ. ඒ ණයයි පොළියයි ගෙවන්න ජනතාවට බදු ගහනවා. මේ සංවර්ධනය කටු ඔටුන්නක් විතරයි. දැන් මේ සංවර්ධනේ ජනතාවගේ හිස මත කඩාවැටිලා. ජනතාව එපා කියන දේ දෙනවා. ඉල්ලන දේ දෙන්නනේ නැහැ. පහුගිය දවස්වල පාරට බහින ජනතාව මර්දනය කරන්න බැටන් පොලූ, කඳුළු ගෑස් ගෙනාවා. කඳුළු ගෑස් ගේන්න ඕනේ නෑ. අපේ රටේ ජනතාවගේ ඇස්වල කොයිවෙලාවෙත් කඳුළු පිරිලා තියෙන්නේ.

ඇමතිකම් හදනවා කිසිදු පදනමක් නැතිව. පරමාණු බලශක්තිය නැතත් පරමාණු බලශක්තිවලට ඇමතිකමක් හදනවා. සීනි වුණත් කමක් නැහැ කියලා ඇමතිධූර හදනවා. අමාත්‍යාංශ කෑලි කෑලිවලට කඩනවා. තේ, රබර් කර්මාන්තය කඩාවැටිලා. පොල් ඉන්දියාවෙන් ගෙන්වනවා. හැබැයි වැවිලි කර්මාන්ත ඇමතිවරයෙක් ඉන්නවා. කිසිදු කළමනාකරණයක් නැහැ.

දැන් ආණ්ඩුවේ එකම ආදායම ණය, බදු, දඩ පමණයි. පහුගිය ඇයවැය ගත්තාම අයවැය හිගය පියවන්න ආදායම වගේම ප‍්‍රමාණයක් ණය ගන්න සිදුවුණා. ආදායම කියන්නෙත් ජනතාවට බදු ගහලා උපයාගන්න මුදලයි. මේ රට මහින්ද රාජපක්ෂ පවුල ක‍්‍රීඩා පිටියක් කරගෙනයි ඉන්නේ. ක‍්‍රීඩා කරන්නෙත් පවුලේ කාල්ටන් ක‍්‍රීඩා සමාජය. ක‍්‍රීඩා පෙන්වන්නෙත් පවුලේ කාල්ටන් චැනල් එක. හොටල් ටිකත් රාජපක්ෂ පවුලේ. රටේ ජනතාවට අයිති ආර්ථිකයක් නෙවෙයි දැන් තියෙන්නේ.

සෞඛ්‍ය, අධ්‍යාපනය කඩා වැටිලා. ඒ සඳහා මුදල් වෙන් කරන්නේ නැහැ. ජනතාවගේ සේවාවන් කප්පාදු කරනවා. අධිරාජ්‍යවාදීන්ගේ ලෝක බැංකුවේ, අයි.එම්.එෆ් එකේ උවමනාවන්ට අනුව රට පාලනය කරනවා. ඉඩම්වලින්, දේපළවලින්, බලය බෙදන්නම් කියලා අධිරාජ්‍යවාදය සතුටු කරනවා. පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ අධිකරණය තමන්ගේ අතට ගත්තා. ඒ වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසි කරලා දැම්මා. දැන් විදෙස් බලපෑම් වැඩිවෙලා. කප්පම් දීලා අධිරාජ්‍යවාදය සේප් කරගන්න හදනවා. අධිරාජ්‍යවාදීන් රටට ඇතුල් වෙන්න දඩමීමා කරගන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි, මානව හිමිකම් කියන දෙකයි. ආණ්ඩුව බලය වෙනුවෙන් මේ දෙකම අහෝසි කරලා දැම්මා. මේ සියල්ල එකතු කරලා ඇමරිකාව නියෝජිතයින් තුන් දෙනෙක් ලංකාවට එව්වා. කරුණු එකතු කළා. මානව හිමිකම් සමුළුවේදී නිර්දේශ ලංකාවට එරෙහිව එන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාවේ ඡුන්දය ගන්න ජී.එල් පීරිස් ඉන්දියාවට පොරොන්දු වුණා 13ට අනුව බලය බෙදන්න සූදානම් කියලා. දේශපේ‍්‍රමය ගැන කතා කරමින් ඉන්දියාවට රට පාවා දෙනවා. පහුගිය දවස්වල රාජපක්ෂ වලව්වට බැලමෙහෙවරකම් කරන ඇමතිවරයෙක් කෑගහමින් හිටියා 13 අහෝසි කරන්න කියලා. ආණ්ඩුව ඒ කළාද? නැහැ. දැන් තවත් බලය වැඩි කරගන්න 19 ව්‍යවස්ථාවක් ගෙන්න හදනවා.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අධිරාජ්‍යවාදයට අවශ්‍ය ආර්ථිකයක් ගොඩනගමින් ඉන්නවා. සාම්පූර් ඉඩම් ටික ඉන්දියාවට දුන්නා. ඉන්දියාව හදන සාම්පූර් බලාගාරය අවුරුදු 25කට බදුවලින් නිදහස් කළා. මූල්‍ය අරමුදල කියන පදයට නටනවා. ඒ නිසා මේ මහින්ද රාජපක්ෂ පාලනයේ පීඩනය දරාගෙන ඉන්න ජනතාව පීඩාවට පත්වෙන සැබෑ කරුණු තේරුම් ගන්න ඕනෑ. නැත්නම් ජනතාවට ඒවා තේරුම්කරලා දෙන්න අපි සූදානම්. මේ පීඩාකාරී පාලනයට එරෙහිව ජනතාව එකතු කරලා ජනතා බලයක් ගොඩනගන්න අපි කටයුතු කරමින් ඉන්නවා. මහින්ද රාජපක්ෂ පවුල් පාලනයත්, අධිරාජ්‍යවාදයත් පරාජය කරන්න පෙළ ගැසිය යුතුයි.

මහින්ද රාජපක්ෂ යන ඒකාධිපති පාරේ ගිය බොහෝදෙනෙකුට සිදුවුණේ ජනතාවගේ විරෝධය හමුවේ සිංහාසනවලින් බැහැලා යන්නයි. සමහරු රටිනුත් පැනලා තියා. බෙන් අලී, හොස්නි මුබාරක්, බැටිස්ටා වැනි ඒකාධිපතියන්ට අත්වුණේ ඒ ඉරණමයි. මහින්ද රාජපක්ෂටත් අත්වන ඉරණම ඊට වඩා වෙනසක් නැහැ.

ඒ නිසා මේ සිදුවෙමින් තිබෙන අර්බුද වලට හුදකලාව උත්තර හොයන්න බැහැ. පාසල්වල ප‍්‍රශ්නය, බඩුමිල වැඩිවීම, රැකියා නැතිවීමට, අපේ දරුවන්ට අනාගතයක් නැති එකට වෙන වෙනම උත්තර හොයන්න බැහැ. මේ අර්බුදය තිබෙන්නේ මේ සමාජ ක‍්‍රමයේ. ධනවාදයේ. එයට සරළ උත්තර නැහැ. මහින්ද වෙනුවට රනිල් ගෙනල්ලා මේ අර්බුදයට විසඳුම් හොයන්න බැහැ. තට්ටුමාරු දේශපාලනයෙන් මේ සඳහා විසඳුම් හොයන්න බැහැ. මහින්දට හොයන්න බැරි උත්තර රනිල්ට හොයන්නත් බැහැ. තමන්ගේ පක්ෂේ ඇතුලේ තියෙන අර්බුද විසඳගන්න බැරි රනිල් වික‍්‍රමසිංහ රටේ ප‍්‍රශ්නවලට උත්තර හොයන්නේ කොහොමද? මහින්ද රාජපක්ෂ රටේ ඒකාධිපතියා. රනිල් පක්ෂයේ ඒකාධිපතියා. පහුගිය කාලේ මුළු රටම දැක්කා එක්සත් ජාතික පක්ෂය හිටියේ කොයි පැත්තෙද කියලා. ජනතාවගේ සෑම අරගලයකදීම එජාපය හිටියේ ආණ්ඩුව පැත්තේ.

එනිසා මේ අර්බුදයන් විසඳගන්න වෙන මාර්ගයක් පාදාගන්න ඕනෑ. සමාජ ක‍්‍රමයේ වෙනසක් ඕනෑ. අපේ රටේ ආර්ථිකය ජනතාව ගොඩ නගන්න ඕනෑ. ආර්ථිකයේ ප‍්‍රතිලාභ ජනතාව අත්පත් කරගන්න ඕනෑ. මහින්ද රාජපක්ෂ පවුලටයි, බහුජාතික සමාගම්වලටයි අපේ රටේ ආර්ථිකය අයිති වෙලා. ආර්ථිකය නඩත්තු කරන ජනතාවට එහි ප‍්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. රාජපක්ෂ පවුල තමයි ප‍්‍රතිලාභ භුක්ති විඳින්නේ. ඒ නිසා අපේ ආර්ථිකයේ ප‍්‍රතිලාභ ජනතාවට ලැබෙන ක‍්‍රමයක් අවශ්‍යයි. ඒකට තමයි සමාජවාදය කියන්නේ. රිසානලාගේ, සිසුන්ගේ, තරුණයින්ගේ, අපේ රටේ ජනතාවගේ ඛේදවාචකයන්වලට මූලය තිබෙන්නේ මේ ධනවාදයේ. රාජපක්ෂලාට ඒකට උත්තර නැහැ.

මේ අරබුදවලට උත්තර හොයන්න පුළුවන් සියලු දේ කැප කරන්න පුළුවන්, දුෂ්කරතාවයන් දරාගෙන, නියම දැක්මක් ඇතිව වැඩකරන්න පුළුවන් පක්ෂයකට පමණයි. මුදලට විකිණෙන මන්ත‍්‍රීවරුන්ට මේ දේ කරන්න බැහැ. අධිරාජ්‍යවාදීන්ගේ පදයට නටන නායකයින්ට මේ දේ කරන්න බැහැ. ඒ නිසා ඒ දේශපාලන නායකත්වය ලබාදෙන්න පුළුවන් ජවිපෙට පමණයි.

මේ රටට උදාවෙලා තිබෙන ඛේදනීය තත්වය වෙනස් කරන්න සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ඒකාවන්ව එකතු වෙන්න ඕනෑ. විවිධ බලපෑම්වලට යටවෙලා ජාතිවාදී, ආගම්වාදී කොළාහලවලට ඉඩ දෙන්න හොද නැහැ. හතුරාගේ අරමුණු ඉටුකරගන්න ඉඩ දෙන්න එපා. සතුරාට විරුද්ධව සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සමගි වෙන්න ඕනෑ. සමගිය තමයි අපේ බලය වෙන්නේ. ඒ වෙනුවෙන් වේදිකාවට එන්න, ධජය අතට ගන්න ඔබට ආරාධනා කරනවා."

Gossip Lanka Hot News Previous News Archive