විපක්‍ෂ නායකවරයා ඔටුන්න ඇවිත් ඔළුවට වැටෙනකම් බලාගෙන ඉන්නවා - ටිල්වින්

අද විපක්‍ෂ නායකවරයා ජනාධිපතිවරයා සමඟ සටන් නොකර බලාගෙන ඉන්නවා. මිනිස්සුන්ට මේ ආණ්ඩුව එපා වෙලා කොයි වෙලාවක හරි ඔටුන්න ගැලවිලා බිමට වැටිලා කානුව දිගේ ගහගෙන ඇවිත් ඔළුවට වැටෙනකම් බලාගෙන ඉන්නවා. මේ ආණ්ඩුව රටේ ජනතාවට රෑට නිදාගන්නත් බය හිතෙන කාලයක් උදා කරලා තියෙනවා. රෑට නිදාගෙන උදේට නැඟිටිනකොට මොනවා හරි භාණ්ඩයක මිල වැඩි කරලා. ජනතාව බරපතළ සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රශ්න ගොඩකට මැදිවෙලා උත්තර සොයා ගැනීමට නොහැකිව සිටිනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැසීය. 

 ඒ මහතා මෙසේ පැවැසුවේ හම්බන්තොට මහාආර ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගි වෙමිනි. වර්තමානයේ රටේ ජනතාවට මුහුණදීමට සිදුවී ඇති අභියෝග පිළිබඳ ජනතාව දැනුම්වත් කරමින් ඒ මහතා මෙසේද පැවැසීය. මේ ආණ්ඩුව අලුත් වැඩක් පටන් අරගෙන රෑට නිදාගෙන උදේට නැඟිටින කොට ප්‍රතිඵලය දෙනවා.අහවල් භාණ්ඩයේ මිල වැඩි වෙලා තියෙනවා. රටේ ජනතාවටත් එතරම් ගාණක් නෑ. පසුගිය දෙසැම්බර් මාසයේ පෙට්රල් ලීටරයක් රුපියල් 10කින් වැඩි කළා. පෙබරවාරි වෙනකොට තවත් රුපියල් 3කින් වැඩි කළා. මේවායේ ප්‍රතිඵල ඉදිරියේදී ජනතාවට ලැබේවි.

 බස් ගාස්තු ත්‍රීවීලර් ගාස්තු වැඩි කරන්න ඒ සංගම් තීරණය කරලා. පසුගිය අයවැයේදී ජනතාව සහන දෙන්න කියලා ඉල්ලුවා. නමුත් කිසිවක් ලැබුණේ නෑ. දැන් ජනතාව පිට බර පටවමින් යනවා. ආණ්ඩුව අධ්‍යාපනයට මුදල් වෙන් කරන්නෑ. ගුරුවරුන්ට වැටුප විතරයි ලබා දෙන්නේ. 

අනෙක් සියල්ල විදුහල්පතිතුමාටත් ගුරුවරුන්ටත් මවුපියන් සමඟ එකතු වෙලා කරන්න සිද්ධ වෙලා. ඒක තමයි අද පාසල් ළමයින්ට පොල් හොරකම් කරන්න වෙලා තියෙන්නෙ. අද ආණ්ඩුවට රට කරගෙන යන්න මුදල් නෑ. වියදම් ගොඩක් තියෙනවා. දූෂණය නාස්තිය නිසා අද රටේ නිෂ්පාදන ආර්ථිකය විනාශ කරලා. 78 පටන් ගත්තු විවෘත ආර්ථිකය දේශප්‍රේමී අධිරාජ්‍ය විරෝධී කියා ගත් මේ ආණ්ඩුවත් ඒ වගේම අරගෙන යනවා.

Gossip Lanka Hot News Previous News Archive