ජාතික වීරයෝ කවුද කියල ඇහුවම අපේ ඇතැම් දරුවෝ කියන්නේ 'ස්පයිඩර් මෑන්' කියලයි - ජනපති

උප්පැන්න සහතිකේ ආගම බෞද්ධාගම කියා සඳහන් වුණාට ඇතැම් දරුවන් ආගම ගැන හෝ ඉතිහාසය ගැන හෝ කිසිවක් නොදැනීම ඉතා අවාසනාවන්ත කරුණක් බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කෙළේය.

 තමන්ගේ වීරයා කවුදැයි ප්‍රශ්න කළ විට "ස්පයිඩර් මෑන්" යැයි කියන දරුවන් මේ රටේ සිටින බව ඇසූ තමා විමතියට පත්වූ බවද ජනාධිපතිවරයා පැවැසීය. මවු භාෂාව ආගම හා ඉතිහාසය දරුවන්ට උගන්වන්න. එසේ නොකළොත් වෛරක්කාර සමාජයක් බිහිවීමේ අනතුර ඇතැයිද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. සාරධර්ම පිරි සමාජයක් නිර්මාණය කළේ නැත්නම් අප කරන කිසිදු සංවර්ධන කටයුත්තක ප්‍රතිලාභ අපට නොලැබෙන බව කී හෙතෙම දරුවන් තුළ සාරධර්ම ගොඩනැඟීම රජයට පමණක් තනිව කළ නොහැකි බවත් මවුපියන්ට ප්‍රභූ සමාජයට මෙන්ම සංඝ සමාජයටත් ඊට දායක වීමේ වගකීමක් තිබෙන බවත් ප්‍රකාශ කෙළේය.

ඇහැළියගොඩ කරඳන කීනගහවෙල ශ්‍රී ආනන්දාරාමයේ අභිනව චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ මහෝත්සවයට සහභාගි වෙමින් ඊයේ (25දා) නවම් පෝදා ජනාධිපතිවරයා මේ අදහස් පළ කෙළේය. ජනාධිපතිවරයා මෙසේද කීවේය. රත්නපුර දිස්ත්‍රික්කය කෙළවරක පිහිටීම නිසා මේ තීනගහවිල වගේ දුෂ්කර ගම්මාන හුදකලාවී තිබෙනවා. අද නැවත වරක් මේ ගම් ගොඩනැඟෙනවා. අපේ අදහස් ගම්වල ජනතාවට හොඳ නාගරික පහසුකම් ලබා දෙන්න. වසර 30 යුද්ධය තිබූ පළාත් අද යුද්ධයක් තිබුණා දැයි සිතිය නොහැකි අන්දමට පසුගිය වසර තුනකදී දියුණු වී තිබෙනවා.
ගමේ පාසල් හොඳ නැති වුණොත් දරුවන් නගරයට යන එක අපට වළක්වන්න බෑ. අපි ගම්වල පාසල්වලට පහසුකම් දෙන්නේ ඒ නිසයි. අප මේ කරගෙන යන සංවර්ධනයන් එක්ක සමාජ සාරධර්ම හැදුණේ නැත්නම් අපට ප්‍රතිඵලයක් ගන්න බැහැ. එය අප තේරුම් ගත යුතුයි. විදුලිබල ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි සහ ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්කාර යන මහත්ම මහත්මීහුද මෙහිදී කතා කළහ. විහාරාධිකාරී කුරුංදන්කුලමේ ධම්මවංශ හිමියෝ පිළිගැනීමේ කතාව පැවැත්වූහ.

Gossip Lanka Hot News Previous News Archive